වරදට දඬුවම

ගෝනියාවේ නීති රීති ගැන හෙළිදරව් වුනේ මිතිලා හමුවූ දවසෙයි. ගෙදර කුලියට ගැනීමේ තිබූ රෙගුලාසි ගොන්න දැකලයි මම අපරාධ/දඬුවම් ගැනසොයා බලන්න පෙළඹුනේ.

ගෝනියාවේ ගෙදරක් කුලියට ගන්න එක ලේසි නෑ - ඒ පිළිබඳ අකුරටම පිළිපැදියයුතු නීති පද්දතියක් ආන්ඩුවෙන් පනවා තියෙන නිසා. මේ නීති පනවා තියෙන්නේ අහිංසක ජනතාවගේ ආරක්ෂා සඳහා; ජනතාව හොර ජාවාරම්කාරයන්ගෙන් බේරා ගන්න. අනික් අතට, තුවක්කුවක් මිලදී ගැනීම ලේසියි - ගෝනියාවේ පිළිගත් ස්ථාවරය වන්නේ නීති මාර්ගයෙන් ගිනිඅවි සංඛ්යාව අඩුකිරීමෙන් ගිනිඅවි අපරාධ අඩු නොවනබවයි. මේ අනුව ගෝනියාවේ වරදකට ලැබෙන දඬුවමත් ලංකාවට වඩා වෙනස්වේයයි හිතන්න අමාරු නෑ.

මගේ අධ්යයනය පටන්ගත්තේ හිරගෙදරකින්. රටේ නීති රෙගුලාසි ගැන කියවන්න ඉස්සර ඒවායේ ප්රතිඵල බලන්න මම හිතාගත්තා. මේකට මගේ තර්කය වූයේ ‘ඇඹුල් තියල් උයන්න ඉගෙනගන්න ඉස්සර කාලා බලන්න’ යන කියමනයි. ඕනම පුස්තකාලකින් හෝ අන්තර්ජාලෙන් නීති රෙගුලාසි කියවාගත හැකි උනත් හිරගෙදරක ඇතුළ බැලීමට ආන්ඩුවේ අවසර අවශ්යයයි. මෙහිදී මට උදව් දුන්නේ මගේ ගවේෂණයේ ගෝනියා හවුල්කාරයාවූ චක් චක්රනාමයි.

“මොකද උපාලී හිරගෙදර බලන්න ඕන කිව්වේ?”

අපි චක්ගේ කන්තෝරුවේ කෝපි එකක් බොන ගමනුයි මේ ප්රශ්නේ ආවේ.

“ඒක දිග කතාවක් චක්…. සමහරවිට ලංකාවේ ඔයාගෙ සමාන නිලධාරියා, සෑම් සොයිසා, මෙහෙ එයි සතියකට දෙකකට ගවේෂණය කටයුතු හරියට සිද්ද වෙනවද බලන්න - ඇත්තටම ඒන්නේ ගෝනියාව දැකගන්න ආසාව නිසා මං හිතන්නේ. එයා එන්න ඉස්සර මම නිඳන කාමර දෙකක ගෙදරක් කුලියට ගන්න බැළුවා. දේපළ කුලියට දෙන ඒජන්සි එකේදී තමා දැනගන්න ලැබුනේ ඒකට අදාල නීති රීති ප්රමාණය - ලංකාවට වඩා ගොඩාක් වෙනස්, වැඩියි. ඒ වෙලාවේ මට හිතුනා මෙහෙ අපරාධ නීතිය නොදැන රට තේරුම් ගැනීම හොඳටම අමාරුයි කියලා. ඒ නිසා තමා මම හිතුවේ ද්යෝෂණය වූ නීති කඩ කළ කීප දෙනෙකුට කතා කරලා එතනින් පටන්ගෙන මුලු නීති පද්දතියම හදාරන්න….”

“හිරකාරයන්ටද නිලදාරීන්ටද කතා කරන්න ඕන?”

“දෙගොල්ලටම…. නමුත් ඉස්සරවෙලා හිරකාරයෙකුට කතා කළොත් හොඳයි කියලා හිතෙන්නේ”

“පොඩ්ඩක් ඉන්න මම මගේ යාළුවෙකුට කතා කරලා බලන්න….”

චක් විනාඩි දහයක් විතර කවුදෝ එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කළා - මම තව කෝපි දෙකක් ගෙනාවා.

“හරි…. මෙන්න මේ නොම්බරේට කෝල් එකක් දීලා හමුවෙන වෙලාවල් කතාකරගන්න… මිනිහගෙ නම ස්වාමිනාදන් - ලංකාවෙන් ආපු කෙනෙක්. දැන් උසස් නිලදාරියෙක් - හොඳ මිනිහා!”

……………………………..

“ඕකේ… මිස්ටර් ජයවර්දන .… උපාලී…. මට නාදන් කියලා කතා කරාට කමක්නෑ… චක් කියපු හැටියට හිරකාරයෙක් හමුවෙලා කතා කරන්න ඔනෑ….?”

“ඔවු…. මිනිහෙක් කරපු වරදයි, වරදට ලැබුන දඬුවමයි, වරද කරපු මිනිහා ලැබුන දඬුවම ගැන හිතන්නේ කොහොමද කියලා සොයලා බලන්නයි මගෙ අදහස….”

“එහෙනම් දැනටම දඬුවම් නියම නොකෙරුන කෙනෙක් නම් වඩා හොඳයි නේද? එතකොට ඒ අයගෙ දඬුවම් ගැන ඇති වැටහීමත් දැනගන්න පුළුවන් මං හිතන්නේ”

“ඒක ඇත්ත …. ඒ අය හමුවෙන එක ලේසිද, දැනටම දඬුවම් ලබලා ඉන්න අයට වැඩිය?”

“හුඟක් ලේසියි… ඕන නම් දැන් වුනත් හමුවෙන්න පුළුවන් එක්කෙනෙක්”

නාදන් මෙහෙම කිව්වේ මේසේ උඩ තිබුන ලයිස්තුවක් පිරිස්සලයි.

“කවුද එයා?”

“… මං හිතන්නේ තොරතුරු විස්තර සහිතව එයාගෙන්ම අහගන්න එක හොඳයි. නම විතරක් කියන්නම් - මාසෙල් ප්රාන්”

මාසෙල් හමුවෙන්න අපි සාලාවේ කොනේ පොඩි කාමරේකට ගියා. අපි ඇතුල් වෙනකොට එතන මේසය පිටිපස්සේ වාඩිවී සිටි තරුණයා පුටුවෙන් නැගිට්ටේ සිනා මුසු මුහුනින්. නාදන් එයා මට හඳුනා දුන්නා.

“මාසෙල්… මේ උපාලී …. ගෝනියාවේ දණ්ඩන නීති ගැන අධ්යයනක් කරනවා ලංකාවෙන් ඇවිත්…. උපාලී මේ මාසෙල්, තව දින කීපයකින් උසාවියට ඉදිරිපත්වන්න ඉන්නේ. නීතිඥයෙක් එපා කිව් නිසා මාසෙල්ම තමා උපාලිගෙ ප්රශ්නවලට උත්තර දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ…. මාසෙල් …. උපාලිගෙ ප්රශ්නවලට, එකකට හෝ කීපයකට, උත්තර දෙන්න බෑ කියලා හිතෙනවානම් ඔය බෙල් එක ගහන්න - මුරකාරයා දොර අරියි….. ආයෙ … උපාලී යන්න ඉස්සර මගෙ කාමරේ පැත්තේ එනවද?”

මම පළවෙනි ප්රශ්නේ අහන්න ඉස්සර මේ හමුවීමට හේතුව පැහැදිලි කළා. ඉන් පස්සේ මාසෙල් කැමතිනම් එයා ගැන යමක් කියන්න මම ඉල්ලා හිටියා.

“මගෙ නම මාසෙල් ප්රාන්… සන්තෝසයි ලංකාවේ කෙනෙක් මුනගැසීම - උපාලී අපෙ රටේ ඉන්න කාලේ කරදරයක් නැතුව, මට වගේ කරදරයක්, නැතුව ගෙවෙයි කියලා මම බලාපොරොත්තු වෙනව … මම වෘත්තියෙන් ගුරුවරයෙක් … දැනට අවුරුදු හයක් ගුරුවරයෙක් හැටියට සේවය කරලා තියෙනවා…. ගණිතය සහ විද්යාව විෂයයන්.”

“මාසෙල්ගෙ රස්සාවට අදාල හේතුවක් නිසාද දැන් මෙතන ඉන්නේ?”

“ඔවු - ඒකයි මම කරපු රස්සාව මොකද්ද කියලා පටන් ගත්තේ”

“කියන්න පුළුවන්ද චෝදනාව මොකද්ද කියලා?”

“මම මගෙ වැරැද්ද පිලිගන්න නිසා ඒක ප්රශ්නයක් නෙවෙයි …. නමුත් කියන්නත් ලැජ්ජයි …. මම වීජ ගණිතය හරියට ඉගැන්නුවෙ නෑ!”

මට ඒක තේරුනේ නෑ. නමුත් මාසෙල්ගෙ වචනවල සැඟවුන තේරුමක් ඇති කියලා මට හිතුනා.

“ඇත්තම චෝදනාව මොකද්ද…. සමාවෙන්න…. මට තේරෙන විදිහට කිව්වොත්….”

මේ සැරේ මාසෙල් මගේ වචන නොතේරුන බවයි මුහුනෙන් පෙන්වූයේ. මම නැවතත් උත්සාහ කළා චෝදනාව තේරුම් ගන්න.

“මාසෙල්… ලංකාවේ වීජගණිතේ කියන්නේ සමීකරණ, සූත්ර වගේ දේ වලදී ඉලක්කම් වෙනුවට අකුරුත් අනික් සලකුණුත් පාවිච්චි කරන ක්රමයක් - දන්නවානේ a+b=c වගේ? … මෙහෙ වෙන තේරුමක් තියෙනවද?”

“නෑ මෙහෙත් ඒකම තමා…. මම ගණිතය ඉගැන්නුවට මගෙ ගණිත දැනීම හොඳ මදි මගේ පංති වලට…. විද්යාලාදිපති කියපු නිසා ඉගැන්නුවා මිස කැමැත්තකින් නෙවෙයි වීජගණිතය ඉගැන්නුවේ… ඒ වෙලාවේ මම ස්ථිරවම ලොක්කට කිව්වානම් ‘මට බෑ වීජගණිතය’ කියලා මම දැන් මෙතන ඉන්නෙ නෑ!”

මට තවම තේරුම් ගන්න බෑ මාසෙල් කරලා තියෙන වැරැද්ද. මම ඉස්කෝලේ යන කාලේ අදක්ෂ ගුරුවරු කීදෙනෙක් හිටියද? මට හිතුනේ මාසෙල්ගේ අදක්ෂතාවය නිසා තව වැරදි වෙන්න ඇති කියලා.

“මාසෙල් අකමැතිනම් මට කියන්න එපා… නමුත් …. මාසෙල් වීජගණිතය පංතියේ ළමයින්ට වැරැදියට දඬුවම් කරාද … තදින් දඬුවම් කරාද?”

මාසෙල් මා දිහා බැළුවේ කලකිරුනු ලෙසයි.

“මං හිතුවේ ගවේෂ්කයෙක් හැටියට උපාලිට අඩුම ගානේ අසංකීර්ණ වාක්යක් දෙකක් තේරුම් ගතහැකියි කියලා… උපාලී හිතුවද මම ළමයින්ට දඬුවම් දීමෙන් මගේ මෝඩකම් වසාගන්න කුහකයෙක් කියලා? හ්ම්?”

මුරකාරයා කැඳවන සීනුව වෙත මාසෙල්ගේ අත යොමුවෙන නිසා මම ඉක්මනට කතා කළා.

“මට සමාවෙන්නා මාසෙල් - මගෙ මෝඩ කමයි, වචන තේරුම ගැනීමේ අසමර්ථ කමයි ගැන. මම ඒ ප්රශ්නේ අහන්න හේතුවුනේ …. ළංකාවේ ගුරුවරයෙක් අදක්ෂයි කියලා නඩු පැවරෙන්නෙ නෑ…. ඒකයි මට තේරුම් ගන්න බැරිවුනේ…. ආයෙත් සමාව ඉල්ලනවා මගෙ ප්රශ්නෙට… කරුණාකරලා මට කියනවද ඇත්තට සිද්ධවුනේ මොකද්ද කියලා?”

මාසෙල් මා දිහා විනාඩියක් කතා නැතුව බලාගෙන හිටියා. ඉන් පස්සෙයි පොඩි හිනාවක් පෙන්නුවේ.

“මමයි සමාව ඉල්ලන්න ඕන…. මට ටිකකට අමතකවුනා උපාලී ගෝනියාවගැන වැඩිය නොදන්න බව”

“මගෙ ගවේෂණ අරමුණ ගෝනියාව තේරුම ගැනීමට උත්සාහ කිරීමයි… මාසෙල් කරපු වැරැද්ද මොකද්ද?”

“මම ‘වර්ග සමීකරණය විසඳීම’ පාඩම් මාලාවෙන් අයින්කරා - මට නොතේරෙන නිසා!”

ඒ සැරේ මම වහාම යමක් නොකියා තැනට උචිත ප්රශ්නයක් ගැන හිතුවා. ඇත්තටම පාඩම් මාලාවෙන් යමක් ඉවත්කිරීම වැරැද්දක්, විශේෂයෙන්ම වර්ග සමීකරණය වැනි වැදගත් මාතෘකාවක්. මට මතකයි මගෙ ගුරුවරයෙක්, ඉතාම දක්ෂ ගුරුවරයෙක්, ‘ව්යාපාර වස්තු හා කොටස්’ මාතෘකාව ඉවත දැම්මේ ‘මං කවදාවත් මේවා කරලා නෑ - දැනට උගන්නපු දේ ඇති විශිෂ්ට ප්රතිපලයකට’ කියලයි. එයාට කිසිම දඬුවමක් නෑ!

“මාසෙල් දැන් වැරැද්ද පිළිගෙන තියෙන නිසා කොයි වගේ දඬුවමක්ද බලාපොරොත්තු වෙන්නේ?”

“… හ්ම්…. මං හිතන හැටියට මාස තුනක් හිරේ….”

………………………

මම ස්වාමිනාදන්ට ස්තුති කිරීමට රෑ කෑමකට ආරාධනා කළත් මිනිහා කැමතිවුනේ මා සමග බීර වීදුරුවක් බොන්න විතරයි.

“බබා තවම පුංචි නිසා අපි රෑ වැඩිය එහෙ මෙහෙ යන්නෙ නෑ දැන් - ඒකයි මමත් රස්සාවෙන් පැයකට කලින් පිටත්වෙලා ආවේ, වෙනදා වෙලාවටම ගෙදර යන්න ඕන නිසා”

“අවිවේකී වෙලත් ආවට ස්තුතියි …. මොනවද බොන්නේ?”

මට ඕනවුනේ මාසෙල්ගෙ කතාව මාර්ගයෙන් නාදන්ගේ දැනුම පාවිච්චි කරලා ගෝනියාවේ අපරාධ නීතිය පොදු වශයෙන් වටහාගන්නයි.

“උපාලී හිතාගන්න මෙහෙම - මාසෙල් කළ වරදයි වරදට ලැබෙන දඬුවමයි ගෝනියාවේ නීති අනුව පැහැදිලියි. හුඟක් වෙලාවට වරදක් කරන අයත් දන්නවා ඒ වරදට ඔබින දඬුවම …. මට තවම මතකයි ලංකාවේ මේවා වෙන හැටි - ඒකයි මම ගෝනියාවේ නීති තදින්ම ආරක්ෂා කරන්න උදව් කරන්නේ, නීති පද්දතියට කැපවී ඉන්නේ”

නාදන්ගෙ ගෝනියා නීති වලට අවංක කැපවීමක් ඇතිබව පැහැදිලියි. ලංකාවේ නීති ගැනත් වැටහීමක් ඇති නිසා ඔහුගේ අදහස් උදහස් මට බොහොම වටිනවා.

“නාදන්ට කියන්න පුළුවන්ද ලංකාවෙයි ගෝනියාවෙයි වරද/දඬුවම ගැන තියෙන ලොකුම වෙනස්කම මොකද්ද කියලා?”

“ඒක ලේසියි - ‘දඬුවම් ඒකක’ විකල්පය තමා පටන් ගැනීම”

“දඬුවම් ඒකකයක් ගැන මං අහලාවත් නෑ!”

“ඒක පුදුමයක් නෙවෙයි - සාමාන්ය ලංකාවේ පාවිච්චිවෙන රෝම ලංදේසි නීතියට වඩා අපෙ එක බොහොම වෙනස්. අපි අපේ දිරිය යොමුකරන්නේ කෙනෙක් කරන ඕනෑම වරදකින් කොයි තරම් හානියක් සිද්දවෙනවද කියලා නියමව දැනගන්න. උදාහරනයක් ගත්තොත්…. දැන් මම බීර බොනවා… ඒකෙන් මගෙ ශරීරෙට හානියක් වෙනවා කියලා හිතමු. නමුත් මම වෙන කිසි කෙනෙකුටවත් දේපලටවත් හානියක් නොකරොත් මගේ බීම දඬුවම් ලබන වරදක් නෙවෙයි… අනික් අතට … මම මේ බීර වීදුරුව බීලා උපාලිට ගැහුවොත්… නැත්නම් මේ හෝටලේට අයිති පුටුවක් කැඩුවොත්…. එතකොට ඒවා දඬුවම් ලැබියහැකි වැරදි”

උදාහරනයට ඔබින විදිහට නාදන් තව බීර උගුරක් බීලා ආයෙත් කතාව පටන්ගත්තා.

“මා අතින් පුටුවක් කැඩෙන ක්රියාව ඕන කෙනෙකුට පෙනෙනවා - ඒක මගේ බීමේ භෞතික ප්රතිඵලයක්…. නමුත් හිතලා බලන්න මා බීර වීදුරුවක් බීපු නිසා මට බබාට ඕන කිරි ගෙදර ගෙනියන්න අමතක වුනානම්…. නැතිනම් පවුලගෙ ප්රශ්නවලට උත්තර නොදී කෙලින්ම නිදාගත්තනම්…. අපි කරන්නේ ඒ අයට හානියක් නේද?”

“දැන් හිතලා බලන්න දෙමව්පියන්ගෙ වගකීම දරුවෙක් ඇති දැඩි කිරීමේදී. තම ළමයින් ආරක්ෂාව, ඔවුන්ගේ ශාරීරික සහ මානසික වැඩීම, හොඳ අද්යාපනයක් ලබාදීම…. මේ සේරම වැඩවලට වගකීම වැඩි හරියක් තියෙන්නේ දෙමව්පියන් අතේ. නේද?... ඒක ලංකාවේ ආන්ඩුවත් පිලිගන්නවා. ගෝනියාවේ වෙනස - අපි මේ වගකීම ඉටු නොකරන දෙමව්පියන් කරන්නේ වරදක් කියලත් පිලිගන්නවා; ඒ වරදට ඔබින දඬුවමුත් නියම කරනවා! මොකද ඒ අය කරන්නේ තම දරුවන්ටත්, එයින් සමාජයටත් හානිය - එහෙම නේද? ඒ වගේමයි ගුරුවරු - ළමයින්ට ඉගැන්වීමට පත්වී ඉන්න අය ළමයින්ට උගන්වන්න ඕන. කන්තෝරුවක වැඩකරන ලිපිකරුවෙක්, නැත්නම් එළිමහනේ වැඩකරන කම්කරුවෙක්, ඒත් නැත්නම් හෝටලයක වැඩකරන කෝකියෙක් - මේ සේරම අය ආයතනයකින් පඩි ලබන්නේ ඒ ආයතනයත් එක්ක ඇති කොන්තරක්කුවක් අනුවයි. හරියට වැඩ නොකරනවා නම් ඒ කොන්තරක්කුව කඩකිරීමේ වරද යටතේ ඒකට ඔබින දඬුවමක් ලැබෙනවා!”

මම ටිකක් මේ ගැන හිතලා බැලුවා.

“… ඔවු… මට හිතාගන්න පුළුවන් වරදත් දඬුවමට හේතුවත් … ඒ වගේ කෙරෙන ‘හානි’ හැබැයි මනින්න බෑ නේද? අර අස්පර්ශනීය, ඒ කියන්නේ ඉන්ටෑන්ජිබල්, හානි නේද?”

“වෙන්න පුළුවන්… නමුත් මනින්න බැරිවුනාට වරද වරදමයි - එහෙමයි ගෝනියාවේ නීති වැඩකරන්නේ. ඒකට මූලික වෙන්නේ ‘වරද ඒකක’ – ඕනම වරදකින් සමාජෙට සිද්දවෙන හානිය මනින්නේ ‘වරද ඒකක’ වලින්”

නාදන් තව බීර උගුරක් බිව්වා.

“මම උදාහරන තුනක් ගන්නම් මේ ‘වරද ඒකක’ ටිකක් පැහැදිලි කරන්න… “

“එක - මිනිහෙක් වාහනයක් සොරකම් කළා. ඒ ක්රියාවෙන් තුන් දෙනෙකුට පාඩුයි කියලා තීරනයවුනා. ඒ නිසා මිනිහට ‘වරද ඒකක’ තුනක දඩයක් නියමවුනා”

“දෙක - ගුරුවරයෙක් - මම කියන්නේ මාසෙල් ගැනම නෙවෙයි - ගුරුවරයෙක් ගණිතය හරියට ඉගැන්නුවේ නෑ. පංතියේ ළමයි තිස් දෙනයි, මාස තුනකට හිරේ ගියා”

“තුන - ඇමතිකෙනෙක් බොරු ආටෝපෙට රට බංකොලොත් කළා; වරද ඒකක තුන්ලක්ෂෙට අවුරුදු තිහක් හිරබත් කනවා”

නාදන් මා දිහා බැළුවේ ‘දැන් තේරෙනවද?’ කියනවා වගේ.

මට දැනුනේ ගෝනියාවත් ලංකාවත් අතර ඇති වෙනස්කම් සනාථ කරන තවත් මාතෘකාවක් මෙතන ඇති බවයි. ඒ නිසාමයි මම වරද ඒකක නියමවන ක්රමයත් එම ඒකක වලට අදාල දඬුවම් ගැනත් පොත් කිහිපයක නම් නාදන්ගෙන් සමුගන්න ඉස්සර සටහන්කර ගත්තේ.