අනාගතයක්

“අම්මා කියනවා ටිකිරි කෙල්ල දළදා මාළිගාවට එක්ක ගියොත් හොඳයි නේද කියලා…”

කුඩා දරුවෝ දළදා මාලිගාව වඳින්න එක්ක යෑම මාලගෙ පවුලේ කලක් පවතින චාරිත්රයක්. අපෙ දුවට මාස දොලහකටත් කිට්ටු නිසා වෙන්න ඇති මගෙ නැන්දම්මට චාරිත්රේ මතක් වෙන්න ඇත්තේ.

“ඕන ඔට්ටුවක් ඔයාගෙ අම්මටයි මාළිගා යන ආසාව තියෙන්නේ… පොඩි එකීගෙ ඕන කමක් නෙවෙයි මං කියන්නේ!”

“එහෙම කියන්න එපා බඩී - අම්මා ලඟ හිටියෙ නැත්නම් පොඩි එකීගෙ වැඩයි රස්සාවයි ගැටගහගන්න කොහොමටත් හම්බවෙන්නෙ නෑ… හොඳ වෙලාවට අම්මට වෙන වැඩ ගොඩක් නෑ… පංසලේ සමිතියේ වැඩ ඇරුනුකොට”

“ඒක නම් ඇත්තටම ඇත්ත. මගෙ අළුත් රස්සාවත් එක්ක අපි පුදුම විදිහට කොට උඩ යනවා මාලගෙ අම්මා කිට්ටුව හිටියෙ නැතිනම්… ඇත්තටම අපි නැන්දම්මා වෙනුවෙන් කියලා කිසිම දෙයක් කරලා නෑ නේද?”

“අම්මා මොකවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි ටික්කිව බලාගන්නේ… අම්මටත් පාළු ඇතිනේ ඉතින් මමත් ගෙදර නැති එකේ…”

මම මාලා දිහා බැළුවේ මීට ඉස්සර කීප සැරයක් කියලා තියෙන දෙයක් නැවත කියන්නයි.

“මාලා දන්නවානේ අපි සේරම එක ගෙදරක ඉන්න එකට මගෙ අකමැත්තක් නෑ කියලා?”

“මම මීට ඉස්සරත් කිව්වා වගේ අම්මා කැමති නෑ ඒකට… මමත් හිතන්නේ ඒක හොඳ අදහසක් නෙවෙයි බඩී … මේක අපේ ගෙදර වගේම අම්මටත් ‘මගේ’ කියන්න තැනක් ඕනෑ… අයියා එහෙම ආපුවමත් ඉන්නේ එහෙ…”

මට තේරෙනවා මේක නැවත නැවත සාකච්චා කරලා වැඩක් නැති බව. මාලගෙයි එයාගෙ අම්මගෙයි ස්ථාවරය හරි බව මමත් දන්නවා, යටි හිතෙන්. මගේ දෙමව්පියොත් මාලගෙ තාත්තත් ජීවතුන් අතර නැති එකේ ටිකිරිට ඒ පරපුරෙන් ඉතුරුවෙලා ඉන්නේ මාලගෙ අම්මා විතරයි. එකට ජීවත් වෙලා වැඩිහිටියෝ අතරේ පොඩ්ඩක් හරි අමනාප මතුවුනොත් ඒක ටිකිරිට කරන අපකාරයක් කියලා මට හිතුනා. ඒ නිසාමයි නැන්දම්මත් එකතු කරගෙන මහනුවර ගමනට මම ඒ වෙලාවෙම එකඟවුනේ.

මට කිට්ටු වැඩිහිටියෝ මගෙ පවුලේ නැතිනිසා නැන්දම්මා විතරයි මට පෙර පරම්පරාවෙන් ලඟින් ආශ්රය කරන කෙනෙක් හැටියට ඉන්නේ. උන්දෑ හඳුනාගන්න ඉස්සර මට කිට්ටුවන්තයි කිවහැකි එකම පුද්ගලයා වූයේ මගේ පරණ ‘ලොක්කා’ මිස්ට සෙනරත් සමරසිංහයි. මීට අවුරුද්දකට විතර ඉස්සර එයා එයාගෙ රස්සාව මට බාරදීලා අනුරාධපුරේ අතහැර ගියා. මිස්ට සමරසිංහගෙ අදහස වුනේ ආපසු උපන් ගමට ගිහින් පරණ මහගෙදර නැවත පදිංචි වෙන්නයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කරන අවුරුදු හතලිහකට කිට්ටු කාලේ ලියූ විශාල කවි සහ කෙටිකතා ගොනුව සංස්කරණ කොට පොත් වලට හැරවීම ඔහුගේ අරමුණවුනා.

මේ මහනුවර ගමනෙදි මිස්ට සමරසිංහත් හමුවෙන්න මම බලාපොරොත්තුවුනා.

සිකුරාදා නිවාඩු අරගෙන අපි මහනුවර ගමනට පිටත්වුනේ මාලගෙ අයියගෙ කාරෙකේ. කොළඹ වැඩකරන මිලින්ද අයියා එයාගෙ වාහනේ බොහෝ විට අනුරාධපුරේ නවතලා තියෙන්නේ. ලඟ හෝටලේක වැඩකරන අයියගෙ යාළුවෙක් සංචාරකයෝ එහෙ මෙහෙ ගෙනියන්න විතරයි කාරෙක පාවිච්චි වෙන්නේ.

“ඕක කොළඹ අරගෙන යන එක කරදරයක් මිස උදව්වක් නෙවෙයි. වැඩට එන්න යන්න ඕන තරම් බස් තියෙනවා; අනුරාධපුරේ එන්න කෝච්චි තියෙනවා. මහන්සියත් අඩුයි, වියදමත් අඩුයි. අනික අම්මට එහෙ මෙහෙ යන්න ඕන නම් ‘නිවහනේ’ සිසිර ඩ්රයිවර් කෙනෙක් එක්ක කාරෙක එවයි …”

මම අයියට කතා කරලා දවස් තුනකට කාරෙක ඉල්ල ගත්තේ මහනුවර ගමනට දින නියමවුන වහාමයි.

“අරගෙන යන්න මලයා… ටයර් එහෙම චෙක් කරගත්තොත් හොඳයි… මලයම එලවනවනම් මම කැමතියි - මං සිසිරට කෝල් එකක් දෙන්නම්”

…………………….

මගෙ සැලැස්ම තිබුනේ සිකුරාදයි සෙනසුරාදයි රෑ මහනුවරට කිලෝමීටර් හතරක් විතර ඈත ලේවැල්ලේ යාළුවෙකුගෙ ගෙදර නවතින්නයි. ගෙස්ට් හවුස් එකක් හැටියට පැවත්වෙන ඒ මහවැලි ගඟ අද්දර ගෙදර මේ දවස්වල වෙන කවුරුත් නැතිබව යාළුවා මට කියලා තිබුනා.

අනුරාධපුරෙන් මහනුවරට පැය හතරක් විතර ගමනේදී අපි අතරමග නැවැත්තුවේ දඹුල්ලේ විතරයි. එතනදීත් ටිකිරිගෙ ඕනෑ එපාකම් බලන්නත් අනික් අයට තේ එකක් බොන්නත් ගියේ විනාඩි තිහක් විතර. ඉන් පස්සේ අපි කෙලින්ම ලේවැල්ලට ආවේ අපිටත් යාළුවාගෙ ගෙදර බලාගන්න සාරංගටත් කඩේකින් බත් පැකට් එහෙමත් අරගෙනයි.

දවල් කෑමෙන් පස්සේ නැන්දම්මා නිදි කිරන ටිකිරිත් එක්ක නිදන කාමරේට ගියා. ඊලඟ දවස් දෙකේ වැඩසටහන කතා කරගන්න මාලටයි මටයි ඒක හොඳ අවස්ථාවක් කියලා මට හිතුනා.

“මහංසිද? මාලට ඕනනම් ටිකක් ඇලවුනාට කමක් නෑ. කෙල්ල ඇහැරෙන එකක් නෑ පැයකට…”

“දැන් නිදාගත්තොත් ආයි රෑට නින්ද යන එකක් නෑ… දැන් මොකද්ද බඩී අපේ ප්ලෑන් එක?”

“අද හවස දළදා මාළිගාව… හෙට උදේ පේරාදෙනියේ මල්වත්ත. මං හිතුවේ දවල් කෑමෙන් පස්සේ අපි දෙන්නයි දුවයි ගිහින් මගෙ පරණ බොස් හම්බවෙන්න. ඉරිදා උදේම ආයෙත් මාළිගාවට ගිහින් එහෙම්ම ආපහු අනුරාධපුරේ යන්න… ඒකයි මගෙ පලෑන - කෙටියෙන්”

“හ්ම්.… හොඳයි… ඩීටේල්ස් එන එන හැටියට බලාගමු. මාළිගාවේ තේවාව කීයටද කියලා සාරංග දන්නවා ඇති නේද?”

“ඔවු. මම අහගන්නම්. අනික අපි ත්රීවීල් එක්ක යමු - මට බෑ නුවර කාර් නවත්තන්න තැන් හොයන්න… ඕන නම් අපිට ටවුමේ කොහෙන් හරි කාලා එන්නත් පුළුවන්”

……………………………..

අපේ මාළිගා ගමන ඉතා සාර්ථක විදිහට සිද්ධවුනා. නැන්දම්මා අපෙ දුවත් වඩාගෙන මාළිගාව වැඳපුදා ගත්තේ තරුණ උපාසිකාවක් වගේ කඩිසරෙන්. ටිකිරිට මාළිගාවේ විශේෂාංග පෙන්වා තේරුම් දුන්නේ ගුරුවරියක් වගේ, කෙල්ල අහගෙන හිටියත් නැතත්. වැව අද්දර හෝටලයකින් රෑට කෑමටත් නැන්දම්මා එකඟවුනේ මාළිගා සංචාරයේ පසු දිලියුම නිසා බව මට හොඳටම විශ්වාසයි.

අපේ මහනුවර ගමනේ දෙවැනි චාරිකාව අපි හිතුවාට වඩා විඩා සහගතවුනා. ටිකිරි ප්රෑම් එකේ තල්ලු කරගෙන ගියත් බොහෝ දුර ඇවිදීම වැඩිහිටියන්ටත් අමාරුවුනා. කිහිප සැරයක් නැවතී ගස් සෙවනේ විඩා ඇරියත් ආපන ශාලාවෙන් යමක් කෑවත් බීවත් අපි ආපසු නවාතැනට ආවේ රෑ/උදේ කෑම සූදානමට අවශ්ය බඩු මුට්ටුත් රැගෙනයි. හොඳටම මහන්සියෙන් හිටි නැන්දම්මා නින්දට ගිය වහාම මම සිතියමක් ඇදලා ගත්තා පරණ ලොක්කගෙ ගමේ යන්න පාර සොයාගන්න. මාලා ඇඳුම් මාරු කරගෙන් නිදිමතේ සිටි ටිකිරිත් ලෑස්ති කරගත්තා.

“පිටත් වෙන්න ඉස්සර් මිස්ට සමරසිංහට කෝල් එකක් දුන්නොත් හොඳයි නේද?”

“එයාගෙ මෝබයිල් එක වැඩ නෑ මාලා. මං හිතුවේ අපි කේක් ගෙඩියකුත් දක්කගෙන කෙලින්ම යමු - මිනිහා නැත්නම් ආපහු එමු. මහ දුරක් නෙවෙයි - කිලෝමීටර් දොලහයි යන්න තියෙන්නේ”

අපි ගමනේ වැඩිය කතාවක් තිබුනෙ නෑ. ටිකිරි එයාගෙ කැප්සියුලේ නිදි; අපි දෙන්නේ අපේ සිතුවිලිවල ගිලිලා.

“මේ ටවුම පහුවෙලා මීටර් දෙසීයකින් වමට පාර. ඒකේ තව මීටර් සීයකින් සර්ගෙ ගෙදර”

“සර්ගෙ නෙවෙයි බඩී - මිස්ට සමරසිංහගෙ!”

මට හිනා ගියා.

“අපෙ ගෙදර ඩිනර් වලට ආපු දවසේ කියපු විදිහට ‘මචං සෙනරත් බංඩා’ කිව්වත් හරි!”

මිස්ට සෙනරත් බංඩා සමරසිංහගෙ ගෙදර දැක්කම අපි දෙන්නගෙ හිනාව පොඩ්ඩක් අඩුවුනා. පාරෙන් උඩට නගින පඩිපෙලේ ගඩොල් කීපයක් ගැලවිලා දියසෙවෙල් බැඳිලා හොඳටම අබලන් පාටයි. පාරට යන්තම් පෙනුන සිංහල උළු වහලේ වල් පැලෑටි කීපයක් හැදීගෙන එනවා. මිස්ට සමරසිංහගෙ ගෙදරකට මීට ඉස්සර ගොස් නොතිබුන අපි දෙන්නා ටිකිරිත් වඩාගෙන මිදුලට ගොඩවුනේ පසුගිය මාස දොලහේදී සර් කොයිතරම් වෙනස්වෙලා ඇතිද කියලා හිතමිනුයි.

ඉස්සරහ දොර බාගෙට ඇරිලා තිබුනට පෙනෙන්න කවුරුත් හිටියෙ නෑ. ගේ ඇතුළ අඳුරු නිසා වැඩිපුර යමක් පෙනුනෙ නෑ. කාලෙකින් හුනු නොගෑ බිත්තිවල කළු පුස් පැල්ලම් සුලබව පෙනෙන්න තිබුනා. ගේ වටා මල් පාත්තියේ මල් වෙනුවට තණකොල සරුවට වැවී තිබුනා. මාලයි මමයි මුහුනෙන් මුහුන බැලුවේ ‘අපි අපරාදේ මෙහෙ ආවේ’ කියලා හිතන්නෝ වගේ. නමුත් මගෙ ගුරා දැකගැනීමට ඇති ආශාව නිසා මම කීප වරක් දොරට තට්ටු කළා.

“දොර ඇරලා තියෙන්නේ…”

සර්ගෙ පුරුදුය කටහඬමයි - නමුත් බොහොම දුර්වලයි. මම මාලටයි ටිකිරිටයි ඉස්සරහින් දොර ඇරගෙන ඇතුලට ගියා. මාලා ඇතුලට ආපු ගමන්ම නහය හකුලා ගත්තා, සැරට දැනෙන පුස් ගඳ නිසා.

කවුරුත් සාලෙට නොආ නිසා මම හයියෙන් “මිස්ට සමරසිංහ?” කියලා වටපිට බැලුවා.

“මේ ඉස්සරහ කාමරේ… කවුද?”

“මම තිලකරත්න. බුද්ධි තිලකරත්න. සර්ට කොහොමද කියලා බලන්න ආවේ… පොඩි එකිත් එක්ක”

ඒ සැරේ සද්ද කීපයක් ආවා. පළමුව ඈත සීනුවක් වදින සද්දයක්. කාමරේ පැත්තෙන් කිරි කිරි සද්දයක්, හරියට කවුදෝ ඇඳක පෙරළෙනවා වගේ. ඊ ලඟට ආයෙත් සර්ගෙ කටහඬ.

“මං එනකං වාඩිවෙනවද?”

ඒක කතා කිරීමයි කෙඳිරිගෑමයි අතරේ සද්දයක්. මාලටයි මටයි දැන් හොඳටම විශ්වාසයි සර් ලෙඩින් ඉන්නේ කියලා. කෝකටත් කියලා ටිකිරිත් අරගෙන අපි ඉස්සරහ මිදුලට ගියා. මාලා ආයෙත් හොඳට හුස්ම ගන්න පටන්ගත්තේ එතකොටයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දැනමුත්තෙකු ලෙසත් මගේ ප්රධාන උපදේශකයා ලෙසත් මම මිස්ට සමරසිංහව සැලකුවේ මගේ ජීවිතයේ හමුවූ එකම ගෞරව කිරීමට වටින පුද්ගලයා හැටියටයි. ඔහුගේ දැනුම විද්යාවටවත් කලාවටවත් සීමා වෙලා තිබුනෙ නෑ. මට වටහාගන්න අමාරුවුනේ එහෙම දක්ෂ කෙනෙකුත් පාළු ගෙදරක තනිවී ඇඳක වැතිරී දවස ගෙවන තරමට වෙනස්වුන හැටියි.

මගෙ වයසේ සරමයි කමිසෙයි ඇඳගත්ත මිනිහෙක් රෝද පුටුවක් තල්ලු කරගෙන දොර ලඟට ආවා. රෝද පුටුවේ වාඩිවෙලා හිටියේ කොන්ඩෙයි රැවුලයි වවාගෙන පරණ පොරවනයක් ඇඟවටා ඔතාගත් වයසක මිනිහෙක් - මිස්ට සමරසිංහ.

………………………………

දැන් රෑට කාලා බීලා නැන්දම්මයි ටිකිරියි නිදි. මාලයි මමයි බැල්කනියේ වාඩිවෙලා අඳුරු මහවැලිය දිහා බලාගෙන තේ බොනවා. මිස්ට සමරසිංහගේ ගෙදර ඉඳන් ලේවැල්ලට එනතුරු අපි නිශ්ශබ්දව හිටියා. වචනෙන් නොකියවුනාට අපි දෙන්නම ලැබූ කම්පනය අසීමිතයි. තවමත් අද ඇසූ දුටු දේ ගැන කතා කිරීමත් මට හොඳටම අමාරුයි. මාලට මේක තේරුනා.

“කවුද බඩී අර මිස්ට සමරසිංහ බලාගන්න මිනිහා - සරත් කියන මිනිහා?”

“මෑන් සර්ගෙ දුර නෑදෑයෙක් කියනවා… දැන් සර්ගෙ වැඩ සේරම බලාගන්නේ මිනිහා”

“ඒ කියන්නේ පඩි ගෙවලා තියාගන්න කෙනෙක්ද?”

“සමහරවිට… ඇයි එහෙම ඇහුවේ?”

මාලා සද්ද නැතුව හිටියා ටිකක් වෙලා ගඟ දිහා බලාගෙන.

“මම කේක් එක කපන්න කෑම කාමරේට ගියානේ ටිකිරි ඔයා අතට දීලා… අනේ බඩී කෑම කාමරේ කුනුගොඩක් වගේ… ඉඳුල් පිඟන්, කෝප්ප පිරිලා… කෑම තවම දීසි වල - ඊයේ රෑ ඒවද කොහෙද, උදේ කෑමක් නෙවෙයි… ආයෙ මැස්සෝ… චික්!... කෑම කාමරේ එහෙමනම් කුස්සිය කොහොම ඇද්ද? අනේ ආයෙ ඒ ගෙදර ගැන කතා කරන්න මට බෑ”

අපි දෙන්නම ආයෙත් සද්ද නැතුව හිටියා විනාඩියක් දෙකක්. මම මාතෘකාව වෙනස්කරා.

“සර් දැන් මොකවත් ලියන්නෙවත් නෑ…. කියවන්නෙත් බොහොම ටිකයි. හරිම වේදනාවෙන් ඉන්නේ වගේ… දැක්කද ඇඳගෙන හිටපු සරම?”

“ඇත්තටම මොකද්ද අමාරුව?”

“සර් කිව්වේ වයසට යනකොට වෙන දේ කියලා - ආතරයිටිස්… සීනි…බ්ලඩ් ප්රෙශර්… දන්නවානේ වයසක අය නිතරම මතක් කරන දේ? හැබැයි හොඳට කෑම බීමෙනුත් පරෙස්සම් වෙලා එක්සර්සයිස් ටිකක් එහෙම කරනවානම් ඔහොම වෙන්න හේතුවක් නෑ…. අමතක කරන්න එපා, සර් අවුරුදු කීයක් ෆීල්ඩ් එකේ වැඩ කරලා තියෙනවද? ඒ කියන්නේ ඇඟට තැළිලා පෙළිලා පුරුදුයි. ඇඟ වගේම සර් කොයි තරම් මොලේ පාවිච්චි කරාද?”

“දොස්තරලා මොකද කියන්නේ?”

“කාලෙකින් ගිහින් නෑ, මං හිතන්නේ… මට තේරුනේ දැන් අනාගතේ ගැන බලාපොරොත්තු අතෑරලා වගේ. වෙන එකක් තියා ලියපු කවි කතා එඩිට් කරන්නවත් අදහසක් නෑ වගේ”

ආයෙත් සද්ද නෑ -අපි දෙන්නා අපෙ අපෙ අදහස් වල ගිලිලා.

“බඩී යෝජනා කරා නේද ඔයා ඒවා එඩිට් කරලා දෙන්න?”

“මං නිකමට වගේ කිව්වේ… එතකොට එයා ඇස්දෙකෙන් ගේ ඇතුල පෙන්නලා ඔළුව හෙලෙව්වා… ඔයා දකින්න නැතුව ඇති. මට හිතෙන්නේ ඔය සරත් කියන මිනිහා ඇතුලේ ඉඳන් අහගෙන ඉන්නවා අපෙ කතාවට… එයාට අහෙන්න කිසි දෙයක් කියන්න සර් කැමති නෑ වගේ”

“ඔය සරත් කියන මනුස්සයා කොහෙන් ආපු පොරක්ද?”

“නෑදෑයෙක් කියලා තමා කියන්නේ… ඊට වැඩිය මොකවත් මම දන්නෙ නෑ”

“අනේ මන්දා… මිනිහ මිස්ට සමරසිංහව හොඳට බලාගන්නෙනම් නෑ…”

මම ටිකක් කල්පනාකළා සර්ගෙ දැන් තත්වයයි මීට අවුරුද්දකට කලින් තත්වයයි.

“අපි සරත්ට බැනලා වැඩක් නෑ මාලා… මිනිහා මීට ඉස්සර ලෙඩෙක් බලාගෙන තියෙනවද, ගෙදරක් පිරිසිදුවට තියාගෙන තියෙනවද, ස්වස්ථතාව ගැන මොනවත් දන්නවද - මේ එකක්වත් අපි දන්නෙ නෑ… ඒවා දැනගන්න ඕන සර්මයි. මිස්ට සමරසිංහ ගෙදර අයිතිකාරයා; ගෘහමූලිකයා. එයා දැනගන්න ඕනෑ මොකද්ද වෙන්න ඕන කියලා… නේද?”

“හැබැයි ලෙඩගානේ ඉන්නකොට අමාරුයි අවට කොන්ට්රෝල් කරන එක”

“ඒක ඇත්ත. නමුත් අනුරාධපුරෙන් එනකොට කිසි ලෙඩක් තිබුනෙ නෑ. අඩුගානේ අපිට පෙනෙන තරමේ ලෙඩක් තිබුනෙ නෑ. ඒ කාලේ, මෙහාට පදිංචියට ආපු වෙලාවේ, ජීවිතේ සකස්කරගන්න තිබුනා දැන් තත්වෙට නොඑන විදිහට…”

“බුද්ධි කියන දේ කියන්න ලේසියි හැබැයි කරන්න අමාරුයි!”

“ඇත්ත. නමුත් දෙපාර්තමේන්තුවේ ලොක්කෝ, පුංචෝ, ඇමතිලා, කම්කරුවෝ… මේ සේරම එක්ක වැඩකරලා රස්සාව හොඳට කරපු කෙනෙකුට රස්සාවෙන් පිට ජීවිතේ සකසා ගන්න බැරි ඇයි?”

“එකක් පඩියට කරන රස්සාවක්, අනික සෙනෙහසට හැදෙන ජීවිතයක්”

මට හිනා ගියා.

“ඒක පරණ සිංදුවක කෑල්ලක් වගේ… හැබැයි ඇත්තක් තියෙනවා. ඒ දෙක වැඩ කරන්නේ වෙන වෙන නීති අනුව… දුවන්නේ වෙන පීලි උඩ”

“නමුත් අපි මිස්ට සමරසිංහට තියෙන ආදරේට දැන් මෙහෙම කිව්වට අපි මොකද කරේ එයාට උදව්වට - පීලි උඩ හරි පැත්තට දුවන්න?”

“එක අවුරුද්දයිනේ ගතවුනේ මාලා! මේ තරම් ඉක්මනට ජීවිතේ වෙනස් වෙනවානම් පිට කාටවත් ඇත්තටම මොකවත් කරන්න පුළුවන්ද?”

“අනේ මන්දා බඩී… මට තේරෙනවා ඔයා මේ ගැන හරියට දුක්වෙනවා කියලා… කම්පා වෙනවා කියලා…”

මගෙ ඇස්වලට කඳුළු එනවා මාලා දැක්කා. මගෙ අතින් අල්ලාගෙන මාලා කතාකළේ බොහෝම හෙමින්.

“අනික් අයගෙ ජීවිත වෙනස් කරන්න අපිට බෑ බඩී. වෙනසක් කරන්න ඕනනම් ඒ අයම ඒකට මුල පුරන්න ඕන. පිටින් ඉඳන් අපිට උදව් දෙන්න පුළුවන් නමුත් යමක් පටන්ගන්න බෑ… සෑඩ් බට් ටෘ…”

මම මාලා දිහා බැළුවේ ඇස් කොනෙන්.

“මම හිතුවේ සර් ගැන විතරක් නෙවෙයි… “

“අපෙ අම්මා ගැනද? එහෙම වෙන්න අපි දෙන්නෙ නෑ!”

“නෑ නෑ. මම් හිතුවේ ටිකිරි ගැන. ටිකිරිත් එක අතකින් මිස්ට සමරසිංහ වගේ - දෙන්නගෙම ජීවිතේ සම්පූර්නෙන්ම අනික අය අතේ. අනාගතේ හොඳද, නරකද; අනාගතයක් තියෙනවද නැද්ද කියලා තීරණ ගන්නේ අනික් අය… එහෙම හිතනකොට මට හරිම බයක් ඇතිවෙනවා. අපි ටිකිරි බලාගන්න හැටි හරිද? අපෙ කෑම කාමර පිරිසිදු ඇතිද? මං කියන්නේ අපෙ හිතේ තියෙන කෑම කාමර…”

අපි දෙන්නා අත් අල්ලගෙන ගඟ දිහා බලාගෙන නිශ්ශබ්දව කොයි තරම් වෙලා හිටියද මම දන්නෙ නෑ. සෑහෙන වෙලාවක් වෙන්න ඇති; ගඟෙන් එගොඩ ගෙවල් බොහොමයක් අඳුරුයි. මාලයි මමයි එක පිම්මට නැගිට්ටේ ටිකිරි හඬන සද්දයක් ඇහිලයි.