ආගන්තුකයෝ
“ඒ රටේ කොන්ඩේ එහෙම කපන්නෙ නැතුව ඇති නේද”
මගෙ කොන්ඩේ සෑහෙන්න දිගබව මම දන්නවා. ඒකෙන් අනික් අයට කරදරයක් නොවෙන බවත් මම දන්නවා.
“මේක හරි වැඩක්නේ! මගෙ කොන්ඩේ මට ඕනෑ දිගට තියාගන්න බැරිනම් කාගෙ කොන්ඩෙද මම ඒ දිගට තියා ගන්නේ?”
“ඔයා හිතන්නේ ඕක ලස්සනයි කියලද? අනේ කපාගන්න අප්පා”
“මොකොදෑ මේ මගෙ කොන්ඩේ ගැන ඔය තරම් තියෙන කැක්කුම?”
“නෑ ඉතින්…වැද්දා වගේ ඉන්නකොට මිනිස්සු මොනවා කියයිද?”
“’තිසා හාමී මාමගෙ ගෙදර ගිහින් එනවා’ කියලා කියයි… ‘වන්නියල ඇත්තෝ මොකෝ මෙහේ?’ කියලා අහයි”
“ඔයාට විහිලු … ගමේ අය දැක්කනම් හූ කියයි!”
“අක්කට මතක නෑ වගේ ගමේ බෙර ගහපු සිට්ටියා කොන්ඩේ බැඳගෙන හිටිය හැටි… අර විජේපාලත් ඔය ජොලියේ හිටියේ කිසි බාබර් කෙනෙකුට කරදර නොකර”
“ඔවු හැබැයි ඉස්සරකාලේ පංසලේ බෙර ගහන්නයි තවමත් මාකට් එකේ ගෝනි උස්සන්නයි බලාගෙන නෙවෙයි නේ මල්ලී ඉගෙනගත්තේ!”
“මම හිතාගෙන හිටියේ මේ සැරේ එක කනකට අරුංගලේකුත් දාගෙන එන්න … හැබැයි දුව කිව්වා එපා කිව්වා - නැන්නලට හාට් ඇටෑක් හැදෙයි කියලා!”
“ඇති අඩුගානේ ටිකිරි කෙල්ලටවත් ටිකක් මොලේ පිහිටලා තියෙනවා… අම්මගෙ පැත්තෙන් වෙන්න ඇති; ඔයාගෙන් වෙන්න බෑ!”
මේ වගේ විවාද වලින් කවුරුත් දිනන්නෙක් නෑ. අක්කා මොනවා කිව්වත් හොඳින්ම දන්නවා මම එයා කියනදේ අහලා කොන්ඩේ නොකපන බව. මම හොඳින්ම දන්නවා අක්කා මේ වගේ මගෙ කොන්ඩේ ගැන වැරදි කියන්නේ බාගෙට විහිලුවට බව; මොකද, ආයෙ මාසෙකින් මම ආපහු පිටරට ගියැයින් පස්සේ ඒවගේ කතා බැරි නිසා.
………………
මම ඉස්සරවෙලාම රට යනකොට මගෙ වයස විසි හතරයි. ලංකාවෙන් ලැබූ සාමාන්ය විද්යා උපාධියට වඩා ඉහල උපාධියක් ලබාගැනීම මූලික පරමාර්තය නොවුනත් යම් විද්යාවත් තාක්ශනයත් තවදුරටත් හැදෑරීමට මෙන්ම ලංකාවෙන් පිට වෙන රටකට යෑමටත් මට විශාල ආශාවක් ඇතිවී තිබුනා. මේ සඳහා ඔස්ට්රේලියාවට යෑමට රජයේ ශිෂ්යත්වයක් ලැබීම මගේ ලොකුම වාසනාවක් ලෙසයි මම දැක්කේ. නමුත් ලංකාවෙන් පිට වෙන රටක ස්ථිර පදිංචිවීමට මගේ කිසිම අශාවක් හෝ බලාපොරොත්තුවක් ඒ දවස්වල තිබුනෙ නෑ.
මම ඉස්සරවෙලාම ඔස්ට්රේලියාවට ආ දවස්වල හිතාගෙන හිටියේ මගේ ඉංග්රීසි භාශා දැනුම සෑහෙන්න හොඳ තත්වයක තිබුනා කියලයි. ඒ සමහරවිට පාසැලේ අවසාන වසර හතරත් විශ්වවිද්යාලයේ වසර තුනත් ඉංග්රීසි මාධ්යයෙන් ඉගනීම නිසා වෙන්න ඇති. ව්යාකරන දැනුම වචන මාලාව, කියවීම හා ලිවීම වැනි දේ ගැන මට ඒ තරම් ප්රශ්න තිබුනේ නෑ. මගේ භාශාවේ තිබුන ලොකුම අඩුව ඔස්ට්රේලියානුවෝගේ උච්චාරණ විලාශය මට කොහෙත්ම තේරුම් ගැනීමට නොහැකිවීමයි. ඒ වගේම ඒ අයට මා කියන දේ තේරුම් ගැනීමට ඉතා අමාරුබව මට ඔවුන්ගේ මුහුනෙන්ම පෙනුනා.
ලංකාවේ ඉංග්රීසි උච්චාරණය ලෝකේ ඕනෑම කෙනෙකුට තේරුම්ගතහැකි තරම් පැහැදිලි බවයි මම ඒ කාලේ ලංකාවෙදි අසා තිබුනේ. මේක කොයිතරම් වැරැදි හැඟීමක්ද කියලා තේරුම් ගන්න මට දවස් කීපේකට වැඩිය ගියේ නෑ. මම කියන සෑම දෙයක්ම දෙතුන් සැරයක් කියන්න වීම - ඉතාම කෙටියෙන් කිවූ දෙයක් උනත් නැවත නැවත කියන්න සිද්ද වීම - මහ කරදරයක් ලෙසයි මට දැනුනේ.
‘ග්රේ රෝඩ්’ නැමැති පාරට බස් ටිකට් එකක් ගැනීමත් සෑහෙන කර්තව්යක් බවට පත්වුනා.
“ග්රේරෝඩ් ප්ලීස්” මම ඩ්රයිවර්ට කියන්නේ හිනා මුහුනින්.
“බෙග්ය’පාඩ්න්?”
“අ…ග්රේරෝඩ්?”
ඩ්රයිවර් පොඩි හිනාවක් දානවා.
“ස්ලෝ…ලි….”
“ග්රේ….රෝඩ්…”
“ඕ…ග්රේ…රෝ…ඩ්!…ට්වෙනි සෙන්ස්”
ඩ්රයිවර්ගෙයි මගෙයි වචනවල වැඩි වෙනසක් මට පෙනුනේ නෑ, ඒ දවස්වල. කාලයක් යනකොට තමයි වැටහුනේ, ග්රේ රෝඩ් කියන වචන දෙක හොදටම වෙන් කරලා කියන්න ඕනෑ බව. සමහරවිට අපි සිංහල කතා කරනකොට වචන එකට අමුනනවා ඇති. හැබැයි ඩ්රයිවර් “බෙග් යුවර් පාඩන්” වෙනුවට “බෙග්ය’පාඩ්න්” කිව්වේ එක වචනයක් වගේ. ‘ට්වෙනි සෙන්ස්’ කියන්නේ ‘ටෙවෙන්ටි සෙන්ට්ස්’ කියන එක මට ඉවෙන් වගේ තේරුනා. මේ වගේ වෙනස් ඉගෙන ගන්න කාලයක් යයි කියලා මටම හිතුනා.
හොඳ වෙලාවට මම නවතින්න සොයාගත් ගෙදර තව හිටියේ ඔස්ට්රේලියානු ජාතික මගෙ විශ්වවිද්යාලයේම ශිෂ්යයෝ දෙන්නෙක්. මගේ ‘ඔස්ට්රේලියානු ඉංග්රීසි’ භාශාව ඉක්මනින් දියුනු වෙන්න මේක බොහොම උදව් උනා [ඔස්ට්රේලියානු ඉංග්රීසි වලට මෙහෙ අය කියන්නේ ‘ස්ට්රයින්’ කියලා - ඔස්ට්රේලියන් කියන එක කෙටියට]. භාශාවට වඩා ඉක්මනට මගේ ජීවිත රටාව වෙනස් කරන්න සිද්ද උනා - ඒ ගෙදරට ආපු දවසේම. මේ වෙනකොට මම ඔස්ට්රේලියාවට ඇවිත් තවම දවස් දෙකයි.
ලංකාවේ බොහෝ තැන්වල වගේ අපේ ගෙදරත් පුරුද්ද තිබුනේ ගෙදරට සරම අඳින එකයි - කලිසමකට බැස්සේ ගෙදරින් එලියට යන වෙලාවකට විතරයි. මේ පුරුද්දට මම මගෙ අලුත් නවාතැනට ආපු දවසේ, කාමරේ බඩු ටික අස්කරපු වහාම සරමට බැස්සා. මම කාමරෙන් එලියට ආවාම මගෙ අලුත් යාලුවෝ දෙන්නගෙන් එකෙක්, ජෝන්, සරම දිහා බැලුවා.
“දැන්මම නිදාගන්න?”
ඒ අයගෙ හිතේ සරම අඳින්නේ නිදාගන්න විතරයි කියලා, ඒ අයගෙ පිජාමා වගේ. මම උත්තරයක් දෙන්න ඉස්සර ටෙරී කතා කලා, සමහරවිට ජෝන්ගෙ ප්රශ්නෙන් මට ලැජ්ජා හිතෙයිද කියලා හරි ඒ අහපු ප්රශ්නේ තැනට ඔබින්නෙ නැති එකක් කියලා හරි වෙන්න ඇති. ටෙරී තමා අතේ තිබුන කෝප්පේ උඩට ඉස්සුවා.
“කෝපි එකක් බොනවද?”
මම මේකට කැමති වුනත් දෙන්නගෙන් එකෙක් වත් පුටුවෙන් හෙලවුනේ නෑ. මමමයි කෝපි එක හදාගන්න ඕනෑ. ප්රශ්නේ ඇහුවේ කෝපි බොන්න ආරාදනයක් හැටියට මිස කෝපි එකක් හදලා දෙන්න නොවන බව මට තේරුනා. ලංකාවේ මෙහෙම ප්රශ්නයක් ඇහුවොත් නොවරදවාම කෝපි කෝප්පය අතටම ලැබෙනවා. මේක මට ලැබුන හොඳම පාඩමක්. එක ගෙදර සම තත්වයේ ඉන්න අය තම තමාගෙ වැඩ කරගන්න ඕනෑ - ගෙදර සුද්ද කිරීම, පිඟන් සේදීම, ගෙදරට අවශ්ය කෑම බීම මිලදී ගැනීම, කුනු කසල ඉවත් කිරීම සම සමව බෙදාගෙනයි කෙරුනේ. ගෙදරදී නොකෙරුවත් මේ දේ වලට පුරුදු වෙන්න වැඩි දවසක් ගියේ නෑ. රෙදි සෝදන යන්ත්රය ක්රියාකිරීමට ඉගෙනගත්තට පස්සේ ඒ වගේ වැඩත් කරගන්න මට අමාරුවුනේ නෑ.
තේ කෝපි ගැන තව වචනයක් - ‘කොෆී’ වගේ නෙවෙයි ‘ටී’ කියන වචනේ හේරුම් දෙකක් තියෙනවා. සමහර මිනිස්සු ‘ටී’ කියන්නේ රෑ කෑමට (ඒකත් කන්නේ හයට හය හමාරට වගේ); බොන්න තේ ඕන නම් ‘කප් ඔෆ් ටී’ කියන්න ඕන.
මම පලමු වරට ලාංකික ආහාර වේලක් ජෝන් සහ ටෙරීට දීපු දවස මට තවමත් මතකයි. ඒ මම මේ ගෙදරට ඇවිත් සති තුන හතරකට පස්සේ. මම පරිප්පුයි හරක් මසුයි පොල් සමබලේකුයි බතුයි ඉව්වේ බොහෝම පරෙස්සමෙන්. ලංකාවෙදී වැඩිය නොකරපු දෙයක් නිසා බතක් එලවලුවක් ලෑස්ති කරන එකත් මට පහසු දෙයක් නෙවෙයි. වියලි පොල් වලින් සැදූ පොල් සම්බලේ නම් හොඳ රසට තිබුනා. මම ලෑස්ති කරපු පරිප්පුයි හරක්මසුයි ඒ තරම් නරක නෑ, - ටිකක් බෙරිවුන බත් එක වගේ. අපි කෑම කන්න වාඩිවුනේ බීර වීදුරුවකුත් බීලයි.
“මේ පරිප්පු එක හරියට මගෙ අම්මා හදපු එකක් වගේනේ!”
“තැන්ක්යූ ටෙරී!”
“මං ඇත්තටම කිව්වේ! ලංකාවෙදිත් කෑම ලෑස්ති කරලා පුරුදුද?”
“ඇත්තටම කිව්වොත් .… මේ ඉස්සරවෙලාම මම කෑම වේලක් ලෑස්තිකලේ අනික් අයටත් එක්ක කන්න. මම විතරක් නම් හදාගෙන කාලා තියෙනවා එක එක දේ”
කාලා ඉවරවෙන්න පැය බාගයක් විතර ගියා. අපෙ කතාව වැඩියම ලංකාවෙයි ඔස්ට්රේලියාවෙයි වෙනස් ගැනයි මම ඔස්ට්රේලියාවේ කෑමට බීමට හැඩගහෙන හැටි ගැනයි.
“තේ එකක් හරි කෝපි එකක් හරි දෙන්නද?”
මම කෑම මේසේ අස්කරලයි මෙහෙම ඇහුවේ.
“නෑ … තව බීර එකක් බොනවා”
කාලා ඉවරවෙලා බොන එක මට අලුත් දෙයක්. ලංකාවේදී මට කෑමට පස්සේ බීලා පුරුදු නෑ. නමුත් මම කිසි දෙයක් කිව්වෙ නෑ. කෙසේවෙතත් ගිය අවුරුදු කිහිපේකින් මේ වගේ ‘චාරිත්ර’ බොහොමයක් මට පුරුදු වුනා. දැන් මට මෙහෙ කන බොන චාරිත්ර හොඳට පුරුදුයි.
ගෙදර ඉන්න තුන්දෙනාම කෑම ලෑස්තිකිරීමට සහබාගිවුනා. ඒ දිනපතා සමූහීව වැඩ කරලා නොවෙයි - එක එක්කෙනා දවස් තුනකට සැරයක් කෑම ලෑස්ති කලා. සමහරවිට කෑම ලෑස්තිකරන්නා විතරයි ඒ වෙලාවේ ගෙදර හිටියෙත්. මම නවාතැනේ දවස් තුනකට සැරයක් රෑ කෑම ලෑස්ති කිරීමේ රාජකාරිය බාර ගත්තේ ඇවිත් මාස දෙකකට පස්සේ. ඒ වෙනකොට අනික් කෑම වර්ගත් ලෑස්ති කරන්න මම පුරුදුවෙලා හිටියේ. නමුත් මගෙන් කෑ පලමු බත් වේල නැවත මතක්කලේ අවුරුද්දකට පස්සේ.
ටෙරී තව සතියකින් බ්රිස්බන් නගරෙන් පිට යන නිසා අපි තව යාලුවෝ කීප දෙනෙකුට ‘ලංකාවේ කෑම පාටියක්’ ඒ සති අංතයට යොදාගෙන තිබුනා. ඒකට සූදානම් වෙන වෙලාවෙයි මට ටෙරීගෙ ඒ කතාව මතක්වුනේ.
“ටෙරීට මතකද මගෙ පලවෙනි ලංකා කෑම වේල? ඔයා කිව්වා මගෙ පරිප්පු කරිය ඔයාගෙ අම්මා ලෑස්ති කරපු එකක් වගේ කිව්වා?”
ටෙරී හිනාවුනා.
“මම කිව්වේ ඇත්තම ඇත්ත … මට ඒ දවස්වල අම්ම හදපු පරිප්පුත් පෙන්නන්න බෑ!”
අපි දෙන්නටම හිනා ගියා. ටිකක් හඳුනන්නෝ ඉදිරිපිට ආචාරශීලී විදිහට හැසිරෙන්නත් හොඳින් හඳුනන්නෝ සමග විහිළු කරන්නත් ඔස්ට්රේලියානොවෝ දක්ශ බව මට වැඩිකල් යන්න ඉස්සර තේරුනා.
……………………………
මගෙ අළුත් නවාතැනට වගේම රට්ටත් ආගන්තුකයෙක්වීම නිසා නවාතැනෙත් රටෙත් ඇති හොඳ හා නරක පැති දෙකම මම දකිනවා. මට දැනුන එක දෙයක්, මගේ හිතට කරදර ගෙනදුන් දෙයක්, වුනේ මෙහාට ආ ලාංකිකයෝ බොහෝවිට මේ රට ගැන කතාකරන්නේ මේ දෙකෙන් එක පැත්තක් ගැන පමනයි. මේක මට හොඳින්ම ඒත්තු ගියේ ‘සංස්කෘතික කම්පනය’ ගැන ප්රකාශනයක් කියවීමෙන් පසුවයි.
මේ ප්රකාශනයට අනුව, අපි අළුත් රටකට පැමිනි දිනවල දකින සියලුමදේ හොඳ ලෙසයි පෙනෙන්නේ - වටපිටාව පිරිසිදුයි, ලස්සනයි, පිලිවෙලයි; මිනිස්සු ආචාරශීලියි, මිත්රවත්, දැන උගත්, රූපසම්පන්නයි; කෑම බීම රසයි, ලාබයි, බහුලයි….. මුලු සංචාරක කර්මාන්තයම රඳා පවතින්නේ මේ මතයි. මේ අවදිය සතියක් හෝ මාස දෙක තුනක් තරම් විය හැකියි. දෙවැනි අදියර මෙයට ප්රතිවිරුද්ධයි - මිනිස්සු සංකරයි, ලාංකිකයොත් එක්ක සංසන්දනය කෙරුවොත් අශීලාචාරයි, ඉංගිරිසි කතා විලාසෙට හිනා යනවා, බාලයෝ වැඩිහිටයන්ට හෝ ගුරුවරුන්ට ගරු කිරීමක් නෑ, හිතන්නේ තමා ගැන පමනයි; කෑම බීමේ කිසි රසක් නෑ, කෑම තමාම බෙදාගෙන නොකා පංගු එක එක පිගානේ දාන්නේ බල්ලන්ට දෙන්න වගේ…. මෙකී නොකී දේ වලින් ලංකාව කිට්ටුවටවත් එන්න බෑ. ‘සංස්කෘතික කම්පනය’ අනුව මේ අදියර අවුරුදු ගනනාවක් තියෙන්න හැකියි. ඉන් පස්සේ තමා ආගන්තුකයෝ ඇත්ත ඇති හැටියට හොඳත් නරකත් දකින්නේ. සමහරු මේ තුන්වෙනි අදියරට කිසිම දාක නොඑන්නත් ඉඩ තිබේලු.
‘සංස්කෘතික කම්පනය’ කියවීමෙන් පස්සේ මම හිතලා බැලුවා මේකේ අනික් පැත්ත. ඒ කියන්නේ, අලුතෙන් ලංකාවෙන් ආ මා ගැන ඔස්ට්රේලියානුවෝ හිතන්නේ/කියන්නේ කොහොමද/මොනවද කියලා හිතුවා. ජෝන් සහ ටෙරී ඇරුනුකොට මගෙ සමකාලීන ශිෂ්යයෝ, ගුරුවරු, කඩ සාප්පු කාරයෝ, බස් හා ටැක්සි රියදුරෝ වගේ අයත් මේ විමසුමට සම්බංද කර ගත්තා.
මගේ මිත්ර ශිෂ්යයෝ සහ ගුරුවරු මුලින්ම දුටුවේ මම තවත් ශිෂ්යෙක් හැටියට මිස ලාංකිකයෙක් ලෙස නොවෙයි. මගෙ ‘පිටරැටි’ බව කරලියට ආවේ මගෙ ඉංග්රීසි පාවිච්චිය නිසයි; ඒත් ලාංකික හැටියට නොව ඉන්දියානු උප මහාද්වීපිකයෙකු ලෙසයි. මම ‘ඉන්දියානු’ වුනේ ලංකාවට එන අමෙරිකානු, එංගලංත, ඉතාලි ජාතිකයෝ සේරම ‘සුද්දෝ’ වෙන විදිහටයි.
කඩසාප්පු කාරයෝ මා දුටුවේ පාරිභෝගිකයෙක් ලෙසයි. ඒ අය ප්රවේසමෙන් මගේ ප්රශ්න වලට කන්දුන්නේ මට යමක් විකිනීමට මිස මගේ උපන් රට ගැන ඉගෙනගැනීමට නොවෙයි. අතේ සල්ලි ඇත්නම් ඒ අයට මගෙ පෙලපත් ගෝත්ර කුමක් වුවත් ප්රශ්නයක් නෑ. බස් හා ටැක්සි රියදුරෝ මේ ගනයටම අයිති වුනත් ඒ අයට දැනගැනීමට ඕනෑවුනේ ගමනේ අවසානය කොහෙද කියලා පමනයි. ඒ නිසා, වැඩි කතාවට ඔවුන් ආශාවක් පෙන්වුවේ නෑ - විශේෂයෙන්ම මගෙ ඉංග්රීසි උච්චාරනය කතාවට තවත් අවහිරයක් බැවින්.
ශිෂ්යයො/ගුරුවරු එක අතකිනුත් කඩසාප්පුකාරයෝ/රියදුරෝ අනික් අතිනුත් ගතහොත් එක වෙනසක් පෙන්වුවා. පලවෙනි කන්ඩායම මා සමග දිගු කාලය, සමහරවිට අවුරුද්දකටත් වැඩි කාලයක්, ආශ්රය කරන නිසා මමත්, ලංකාවත් ගැන දෙවනි කන්ඩායමට වඩා කුතුහලයක් පෙන්වුවා. එකට ඉගෙන ගැනීම, ක්රීඩා වලට සභාගි වීම, පාටි දැමීම වැනි දේ නිසා දිගුකාලීන මිත්රකම් ගොඩනැගුනේ පලවෙනි කන්ඩායමේ අය සමග පමනයි. එසේවුවත්, ඒ අයගෙනුත් ඉතා සුලු කොටසයි ලංකාව ගැන හාරාසොයා බලන තරම් උනන්දුවක් දැක්වුවේ. මේක ලාංකික මට තේරුම්ගන්න කල් ගියා. මම හිතාගෙන හිටියේ අපේ පැරැනි ශිෂ්ඨාචාර ආගම වැනිදේ ගැන මෙහෙ අයගේ ප්රශ්න ගොඩකට පිලිතුරු දෙන්න වෙයි කියලයි.
මේක ගැන මගේ ඇතිවූ ‘දොම්නස/කලකිරීම’ නැතිවූයේ ලංකාවට ආපසු පැමින ඔස්ට්රේලියාව ගැන ලාංකිකයන්ගෙ උනන්දුවක් නැතිකම දැකීමෙන් පසුවයි. ලංකාවේ යාළුවන්ගෙත් නෑදෑයන්ගෙත් උපහාසයට භාජනය වෙන්න හොඳම ක්රමය “ඔස්ට්රේලියාවේනම්….” හෝ “මම ඔස්ට්රේලියාවේ ඉන්න කාලේ…” කියලා කතාවක් පටන්ගැනීමයි. රට මොක උනත් ‘මම ----- ඉන්න කාලේ’ කියලා කතාවක් පටන්ගත්තොත් එක්කෝ පුරාජේරු කාරයෙක්, නැත්නම් ගොනෙක්, ඒත් නැත්නම් ‘ඇඳලා’! මම ඉස්සරවෙලාම රට යන්න ඉස්සරත් මෙවැනි දේ සිදුවෙනා දැක තිබුනා. මට දැන් හිතෙනවා මම ඒ වගේම ‘ඇඳපු’ කතා ඔස්ට්රේලියාවෙදි කිව්වද කියලා, එහෙ ගිය අළුත. ඕනෑම සාකච්චාවකදී ‘ලංකාවෙනම් මේක කරන්නේ…..’ වගෙ කතා වලින් වැලකෙන්න මම බොහොම උත්සාහ කලා.
ලංකාවත් ඔස්ට්රේලියාවත් අතර, විශාලත්වය, භූවිශමතා ලක්ෂණ, ඉතිහාසය, දේශගුනය මෙන්ම ආර්තිකය, මිනිස් සමාජය වැනි මෙකී නොකී අයුරින් විශාල වෙනස්කම් දැකගත හැකියි. ක්ෂේත්රඵලය වැනි මැනිය හැකි ඒකක අනුව රටවල් දෙක සංසන්දනය කිරීම ඉතා පහසුයි. එවැනි සංසන්දනයක හරි/වැරදි බව පැහැදිලි ලෙස පෙනෙනවා. නමුත් දෙරටේම අය පුරුදුවෙලා ඉන්නේ මැනිය හැකිත් නොහැකිත් දේ ඇතුලත් කරලා රටවල් දෙක සංසන්දනය කිරීමටයි.
මගෙ බොහෝ ඔස්ට්රේලියානු මිත්රයෝ කියන හැටියට:
“දිවියලෝකේ මෙහෙ තමයි - ආයෙ වෙන කොහෙවත් යන්න ඕන නෑ!”
“මේ වගේ විශාල පිරිසිදු සුදු වැලි මුහුදු වෙරලක් ලෝකේ කොහෙවත් නෑ!”
“පිට රට ගිහින් ආවමයි දැනෙන්නේ මේ රටේ වටිනාකම”
“ඒක ඔස්ට්රේලියානු විහිලුවක් - අනික් අයට වැටහෙන්නෙ නෑ!”
“මෙහෙ ආපුවම ආයෙ යන්න හිතෙන්නෙ නෑ නේද”
මගෙ ලාංකික මිත්රයෝ සහ නෑදෑයෝ කියන හැටියට:
“කොහෙද ආයෙ මේ වගේ රටක්?”
“මේ වගේ සංස්කෘතියක් වෙන කාටද තියෙන්නේ?”
“ලුනු මිරිස් රහට කන්න ඕනනම් මෙන්න රට!”
“ඇයි එහෙ ඒවා දාලා ආයෙ ගෙදර එන්නෙ නැත්තේ - නවතින්නම”
“මටනම් මේකේ ඉඳලා මේකේ මැරෙන එක සැපක්”
මේ වගේ කියන කතාවල ඇත්ත නැත්ත වැදගත් නෑ - කියන්නගෙ විශ්වාසයයි අදාල. මම මේ වගේ කතා අහලා තියෙනවා බොහොම සැරයක් - රටවල් දෙකේම බොහොම දෙනෙකුගෙන්. මේකට හේතුව දෙගොල්ලම ඉන්නේ “ලෝකේ හොඳම රටේ” වීමයි.
රටවල් දෙක කොයි තරම් වෙනස් වුනත්, රටවැසියන්ගෙ අදහස් කොයි තරම් තම තමංගේ රට පැත්තට නැම්මක් පෙන්වුවත්, එක් එක් පුද්ගලයන් අතර සමානත්වයන් වෙනස්කම් වලට වඩා බොහොම වැඩි බව පැහැදිලියි. අපි දෙගොල්ලම මහංසිවෙන්නේ තමාගෙත්, පවුලෙත්, කිට්ටුවන්තයන්ගෙත් දියුනුව බලාපොරොත්තුවෙන්. මේවා ඉෂ්ටකර ගැනීමටයි ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවන්නේ - ඉගෙනීම, රැකියා, විවේක කාල, ආගමික හා සමාජ කටයුතු සහභාගිත්වය වැනි දේ මේ අරමුන ඉටුකරගැනීමට වැදගත් මාර්ගයි. හමේ පාට වැනි භෞතික වෙනස්කම්, ජාති බේද, ආගම් බේද වලට කාලය නාස්ති කරන්න හැක්කන් ඉන්නේ බොහෝම සුළු ප්රමානයක්. එවැනි හැඟීම් සාමාන්ය මිනිසුන්ගේ යටි සිතේ තිබුනත් ඒවා යොදන්නේ ‘ජන කොටස්’ වලට මිස තමා පෞද්ගලිකව හඳුනන පුද්ගලයන්ට නොවෙයි.
ඔස්ට්රේලියානුවෝ ‘කළු’ මිනිසුන්ට ‘බ්ලැක් බාස්ටඩ්’ කියන්නේ අපි මුස්ලිම් මුදලාලිට ‘අර තම්බියෝ’ කියනවා වගේ; ආසියාතිකයන්ට ‘වොග්ස්’ කියන්නේ යාපනේ මිනිසුන්ට ‘තලතෙල්’ කියනවා වගේ; සරණාගතයන්ට ‘රෙෆෝස්’ නැත්නම් ‘ඉලීගල්ස්’ කියන්නෙ අපි ‘කල්ලතෝනි’ කියන වචනේ පාවිච්චි කරනවා වගේ. මේ වචන අපි හඳුනන අයට යොදන්නේ නැත්තේ මිත්රයන්ට මේවා අදාල නැති විදිහටයි. අපි ආශ්රය කරන්නෝ මොන ජාතියේ, ආගමේ, කුලේ වුනත් ඒක ප්රශ්නයක් නෙවෙයි - අපහාස නොහඳුනන්ට සීමා කරන තරමට අපේ මනස දෙපිටකාට්ටුයි.
ඔස්ට්රේලියානු මනසත් ඒ වගේ කියලා මට හිතෙන්නේ.