ඉඩම් ගනුදෙනු
නව හැවිරිදි ගාමිනී පඩිපෙලෙන් බැස එන අමුත්තා දිහා බැලුවේ “කවුද මේ වෙලාවේ එන්නේ?” කියලා හිතමිනුයි. දවල් කෑම වෙලාවට ගමේ අය අනිකුන්ගෙ ගෙවල් දොරවල් වලට යන්නෙ එන්නෙ නැති බව ගාමිනී දන්නවා. ගෙදරින් ආරාධනයක් නැතුව ආවොත් එන්නේ එක්කෝ වත්තේ වැඩකරන කෙනෙක් නැත්නම් පිට මිනිහෙක්. උදේ ඉඳන් මහංසිවෙලා ඇල්ල අයිනේ අටවාගත්ත සෙල්ලම් ගේ පොල් අතු බාග බිත්තියට උඩින් පැනලා ගාමිනී එලියට ආවේ අමුත්තා කතා කරන්නත් ඉස්සර.
“තාත්තා ඉන්නවද?”
ගාමිනී කතා නොකර අමුත්තගෙ මුහුන දිහා බලාගෙන හිටියේ පොතක් වගේ මිනිහගෙ මුහුන කියවන ඉරියව්වෙන්. අමුත්තා පොඩ්ඩක් හිනාවුනා.
“ළමයා… තාත්තා ඉන්නවද?”
“අපිට තාත්තෙක් නෑ!”
අමුත්තගෙ හිනාව අඩුවෙලා ගියා. ඊ ලඟට එයා කතා කරේ ගාමිනී දිහාට නැමිලා.
“ඒක මං දන්නෙ නෑනේ… මේ පුතාලගෙ ගෙදරද?”
“ඔවු”
“පුතාගෙ අම්මා ගෙදර ඉන්නවද?”
“නෑ”
“පුතා කවුරු එක්කද ගෙදර ඉන්නේ?”
“රෝසා එක්ක!”
“මට රෝසා කියන එක්කෙනාට කතා කරන්න පුළුවන්ද?”
“හා… හැබැයි රෝසට කතා කරන්න බෑ!”
“ ගෙදර වෙන කවුරුවත් නැද්ද?”
“නෑ!”
ගාමිනීට කතාව ඇතිවෙලා වගේ ආපහු සෙල්ලම් ගේ ඇතුලට ගියා.
අමුත්තා වටපිට බැලුවා. ගෙදර පරන වුනාට ටිකක් ලොකුයි - උලු වහලයි ගඩොල් බිත්තියි කිව්වේ ගමේ සෑහෙන වැදගත් කෙනෙකුගේ ගෙදරක් කියලා. නමුත් පොඩි එකෙක් ගෙදර තනියම දාලා යන්නේ මොන ජාතියේ වැදගතෙක්ද? තමා මුනගැසෙන්න ආවේ මේ ගෙදර අයිතිකාරයොද කියලා සැකයකුත් ඔහුට ඇතිවුනා.
“පුතා දවල්ට කන්නේ කොහෙන්ද?”
ගාමිනී අමුත්තා දිහා බැලුවේ මේක උත්තරයක් දෙන්න වටින ප්රශ්නයක්ද නැද්ද කියලා හිතනවා වගේ. හොඳ උත්තර කීපයක් (“පිඟානෙන්”, “කුස්සියෙන්”, “කටෙන්”) හිතුනත් ඒවා මෙතැනට ඔබින්නේ නැති නිසා කිසිම උත්තරයක් දුන්නෙ නෑ. නමුත් අමුත්තා ආයෙත් කතා කර.
“පුතා තනියමද ගෙදර ඉන්නේ”
“නෑ… රෝසා ඉන්නවා. මම එක සැරේකුත් කිව්වා!”
පොඩි එකාගෙන් කිසිම දෙයක් දෑනගන්න බැරියයි ඒත්තු ගිය වහාම අමුත්තා ගෙදර ඉස්සරහ දොර ලඟට ගියා. නමුත් දොරට තට්ටු කරන්න ඉස්සර ආයෙත් ගාමිනී දිහා බැලුවා.
“ගේ ඇතුලේ කවුරුවත් ඉන්නවද?”
ඒකටත් උත්තරයක් නොලැබුන නිසා අමුත්තා කීප සැරයක් දොරට තට්ටු කරලා “ගෙදර කවුද….?” කියලා හයියෙන් ඇහුවා.
විනාඩියකින් දොර ඇරිලා සරමක් බැනියමක් ඇඳගත්ත මැදිවියේ මිනිහෙක් එලියට ආවා.
“මොකද?”
“අ… මේක ජයවර්දන මහත්තයගෙ ගෙදරද? අර මාතලේ තැපැල් කංතෝරුවේ වැඩකරන ජයවර්දන මහත්තගෙ…”
“ඔවු ඒ මම තමයි… ඔබතුමා කවුද?”
“මගෙ නම වීරරත්න. මට මිස්ට ජයවර්දනගෙ කංතෝරුවේ රංජනී මිසී කිව්වා මෙහෙ ඉඩම් වගයක් විකුනන්න ඇති කියලා?... මම කොම්පැනියකට නෙවෙයි වැඩකරන්නේ, මමයි මල්ලියි දැන් අවුරුදු දහයක් විතර ඉඩම් ගනුදෙනු තමා කරන්නේ…”
“මිස්ට වීරරත්න කොහොමද රංජ්නී පීරිස් හඳුනන්නේ?”
“මගෙ මල්ලී බඳින්න ඉන්නේ රංජනී - මල්ලිත් ඉස්සර තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩකරේ - දඹුල්ලේ”
“රංජනිත් දඹුල්ලේ වැඩකරලා තමා මාතලේට ආවේ… ඇවිත් වාඩිවෙන්න මිස්ට වීරරත්න… ගාමිනී… ගාමිනී… අම්මා කිව්වා දැන් සෙල්ලම ඇති කියලා - කන්න එන්නලු”
“ඒ මහත්තයගෙ පුතා?”
“ඔවු - එකම එකා!”
ගාමිනී කිට්ටුවට එනකොට වීරරත්න පොඩි එකාට කතාකරා.
“පුතා මට කිව්වේ තාත්තෙක් නෑ කියලා! මේ කවුද?”
“ඒ මගෙ අප්පච්චිනෙ!”
ගාමිනී එහෙම කිව්වේ මොලේ ටිකක් අඩු කෙනෙකුට යමක් පැහැදිලි කරන්නෙක් වගේ.
ගාමිනීගෙ තාත්තට හිනා ගියා.
“ගාමිනී කියනදේ වැඩිය ගානකට ගන්න එපා. එයාගෙ මොලේ දුවන්නේ බොහෝම පටු මාර්ගයක. පුතා කියපු හැමදේම ඇත්ත වුනත් එයා හිතන විදිහට හිතන්නෙ නැති කෙනෙකුට පෙනෙන්නේ බොරු කියනවා කියලා. ඉස්කෝලෙත් ඒක නිසා කරදර ඉඳලා හිටලා…”
වීරරත්න ඉස්තෝප්පුවේ වාඩිකරවලා ගෙහිමියා ගේ ඇතුලට ගියේ අමුත්තට බොන්න යමක් ගේන්නත් දවල් කෑම ගැන පවුලත් එක්ක සාකච්චා කරගන්නත්ය. අමුත්තට කෑම වේලක් දෙන එක ලොකු බරක් හැටියට ඔහු දැක්කෙ නෑ - ඒකෙන් ඉඩම් ගනුදෙනුව සතුටුදායක විදිහට කරගන්න හැකිනම් වඩා හොඳයි.
ඉඩම් ගැන කතා කරන්න ඉස්සර පොඩි එකා කී දේ ගැන අහගන්න වීරරත්නට හිතුනා.
“කිව්වට තරහවෙන්න එපා මිස්ට ජයවර්දන නමුත් මම මහත්තයගෙ පුතාගෙන් අහපු ප්රශ්න කීපෙකට ලැබුන උත්තර මට සැකයි …. අර මහත්තයා කිව්වා වගෙ, මං හරි විදිහට නෙවෙයි වෙන්න ඇති ප්රශ්න ඇහුවේ…. උත්තර මට තේරුනේ නැතුවා වෙන්නත් පුළුවන්”
“මොනවද ඇහුවේ?”
වීරරත්න ටිකක් කල්පනා කලා.
“තාත්තා - අප්පච්චී කතාව මට තේරෙනවා… හැබැයි අම්මා ගෙදර ඉන්නවද කියලා අහනකොට ‘නෑ’ කිව්වා. නමුත් මහත්තයා කිව්වේ පුතාට අම්මා අඬගැහුවා කියලා!”
“හ්ම්… ගාමිනී එතකොට කොහෙද හිටියේ”
“අර ඇල්ල අද්දර පොඩි මඩුවේ”
“හා!... ඒ ගාමිනීගෙ සෙල්ලම් ගේ. අද උදේ හැදුවේ - එයාමයි හැදුවේ. ඒක තමා එයාගෙ ගෙදර - ඒකේ අම්මා නෑ කියලා තමයි කියලා තියෙන්නේ!”
“කවුරුත් එක්කද ඉන්නේ කියල අහපුවම කිව්වා රෝසා එක්ක කියලා. එයාත් එක්ක කතා කරන්න ඉල්ලපුවම කිව්වා රෝසා ගොළුයි කියලා!”
ජයවර්දනට හිනා ගියා.
“රෝසා එයාගෙ බලු පැටියා. ඌ සෙල්ලම් ගේ ඉන්න ඇති ඒ වෙලාවේ! ගොළුයි නෙවෙයි කතා කරන්න බෑ කියන්න ඇති - ඒකත් ඇත්ත!”
වීරරත්නටත් හිනා ගියා. නමුත් ආපු වැඩේ අමතක කරන්න එයා කැමතිවුනේ නෑ.
“මහත්තයා මට සමාවෙන්න ඕන දවල් කෑම වෙලාවේ ආවට … මේ පැත්තේ තව වැඩක් තිබුන නිසාත්, අද හවස්වෙන්න ඉස්සරවෙලා ගෙදර යන්න ඕන නිසාත් මේ ආපු එකේ ගොඩවෙලා යන්න ආවේ…”
“හොඳයි ආපු එක… අපි ගිහින් බලමුද ඉඩම් කෑල්ල?”
……………………….
වීරරත්නට ඉඩම් පෙන්වන්න පැයක් විතර වත්ත පැත්තේ අවිද්දා. දෙන්නා ආපහු ගෙදර ඇවිත් දවල් කෑමෙන් පස්සේ ඉස්තෝප්පුවේ වාඩිවෙලයි ඉඩම් ගනුදෙනු ගැන ආයෙ කතාකලේ.
“එතකොට එහෙනං මිශ්ර භෝග අක්කර හතරේ ඉඩම ඉස්සරවෙලාම බලමු…. මහත්තයා ඒකේ කපන්න පුළුවන් ගස් එහෙම ඉස්සරවෙලා කපලා විකුනලා ඉඩම විකුනනවද නැත්නම් ඒවත් එක්ක විකුනන්නද අදහස?”
“මිස්ට වීරරත්න ඉක්මන් වෙන්න එපා - අපි තවම ඒවගෙ එස්ටිමේට් හදලා නෑ. හපු, ටූනා, මහෝගනී, කොස් එහෙම සැහෙන්න තිබුනට ඒවා තවම මැනලා නෑ. මනුස්සයෙක් එනවා කිව්වා හැබැයි තවම වැඩේ කෙරුනෙ නෑ”
“මිස්ට ජයවර්දන කැමැතිනම් මට ගස් බලන්න කෙනෙක් එවන්න පුළුවන්… නමුත් මහත්තයගෙ කට්ටිය ඒකට ඉන්නවනම් වඩා හොඳයි. එතකොට අපෙ ගනුදෙනුවට ඒක ගෑවෙන්නෙ නෑ. මාත් හිතන්නේ ගස් ඉස්සරවෙලා වික්කොත් මුළු ආදායම වැඩී. නමුත් ඉඩමට ලැබෙන ගාන අඩුයි”
“ඔයගොල්ල කොහොමද ඉඩමක වටිනාකම බලන්නේ? වපසරියෙන්ම ගානක් කියන්න බෑ නේ?”
“අපෝ මහත්තයා ඒකට බොහෝම දේවල් අයිතියි මහත්තයා. භූමි විස්තර, වතුර, දැනට ඇති වගාව, පාරවල් වගේ දේ වැදගත්. ආයෙ ඉඩමේ බලාපොරොත්තු ප්රයෝජනය අනුව ලඟම නගරෙන් දුර, ගෙපලකට සුදුසු බිම්, විදුලිය වගේ දේ වැදගත්. අපෙ මිනිස්සු සාමාන්යෙන් කරන්නේ අවට ඉඩම් විකිනිලා තිබුනොත් ඒවගෙ ගාන බලලා ගානක් කියනවා. මහත්තයට කිව්වට…. අපි සේරම බලන්නේ පුළුවන් තරම් වැඩි ගානකට ඉඩම් විකුනන්න - මට ලැබෙන ගාන ඉහල යන්නේ මහත්තයට ලැබෙන ගාන ඉහල ගියොත් විතරයි”
ජයවර්දන මහත්තයට මේ අදහස් ප්රයෝජනවත්. පරම්පරාවෙන් ආ මේ ඉඩම් මීට ඉස්සර විකුනලා පුරුද්දක් නෑ වගේම අළුත් ඉඩම් මිලදී ගැනීමේ පලපුරුද්දක් ඔහුට තිබුනෙ නෑ.
“මිස්ට වීරරත්නට කොහොමද විකුනන්න තියෙන ඉඩම් ගැන ආරංචිව් එන්නේ? ඒ වගේම ඉඩම් ගන්න ඉන්න අය මිස්ට වීරරත්න ගැන කොහොමද දන්නේ?”
“දැන් ඉඩකඩම් වැඩ වැඩිහරියක් අංතර්ජාලෙන් කෙරුනට මල්ලියි මමයි තාම අපේ සේවාවන් පාවිච්චි කරන අය පුද්ගලිකව හමුවෙලා කතා කරනවා. අපිට වෙබ් අඩවියක් තිබුනත්, අංතර්ජාලෙන් විමසුම් ලැබුනත් පුද්ගලිකව හමු නොවී කිසිම දෙයක් කෙරෙන්නෙ නෑ…. සමහරවිට මහත්තයට හිතෙනවා ඇති ඒක මෝඩ කමක් කියලා නමුත් ලොකු කොම්පැනි වගේ වැඩ කරන්න අපි කැමති නෑ”
“ඒ කියන්නේ සෑහෙන්න එහෙ මෙහෙ දුවන්න ඕන ඇති!”
“මොනවා කියනවද මහත්තයා… මෙහෙ එන්න ඉස්සර තව තැන් දෙකකට ගියා… බයිසිකලේට පැට්රෝල් ගහගත්තම මල්ලත් අරගෙන ගමනෙම තමා!
දෙන්නගෙ සාකච්චාව සිද්දවුනේ ගැනුම්කරු-විකුණුම්කරු විදිහට වඩා පරන මිත්රයෝ දෙන්නෙක් අතර සාකච්චාවක් වගේ. ටිකෙන් ටික ජයවර්දනට දැවදඬු කර්මාන්තයත් ඉඩම් ව්යාපාරයත් යාන්තමට වැටහෙන්න පටන් ගත්තා. ගහක උස ඇස්තමේන්තු කිරීමටත් වටප්රමාණය මැනීමත් එයින් වටිනාකම ගැන අදහසක් ලබාගන්නා හැටිත් යම් ගස්වර්ග කැපීමටත් ගෙනයෑමටත් අව්ශ්ය අවසර පත්රත් ගැන වීරරත්න කතාකලේ මනා දැනුමකින්. වීරරත්න ඉඩමක් දිහා බැලුවම ජයවර්දනට වඩා බොහෝම දේ දුටුවා. ගෙපල් සහ පාරවල් වලට සුදුසු තැන්, ජල සම්පාදන ක්රම, අළුත්/ස්ථාපිත භෝග වල අගය, ඉඩම කොටස් කිරීමේ හැකියාවන් වැනි මෙකී නොකී බොහෝදේ ඔහුගේ හිතට ආවා. ජයවර්දන ඉඩම සංචාරක ව්යාපාරයකට වුවත් සුදුසු බව ඔහුට වැටහුනා.
“මහත්තයම හිතලා බලලා කියනවද මේ ඉඩම මොන වගේ ප්රහෝජනේකට හොඳද කියලා?”
වීරරත්නට දැනගන්න ඕන ජයව්ර්දන මහත්තයා ඉඩම් ජාවාරම ගැන කොයිතරම් දන්නවද කියලා.
“මිස්ට වීරරත්නට කිව්වට මොකද මම ඒක ගැන වැඩිය හිතලා බලලා නෑ!”
“විකුනන්න ඉස්සර හිතන්න වටිනවා නේද?”
“ඒක නම් එත්ත…. හා… බලමු… ලොකු ගස් කැපුවයින් පස්සේ ගම්මිරිස් වගේ දේ වලට හොඳ වෙයි… වතුර හොඳට තියෙන කෑල්ලේ එලවළු දාන්න පුළුවන් වෙයි…. ආයෙ … එළුවෝ… කුකුලෝ එහෙම ඇති කරන්නත් හොඳ වෙයි… මහත්තයා මොකද කියන්නේ?”
“මට හිතෙන්නේ එහෙම ප්රයෝජන වලින් ඉක්මනට ආදායමක් ගන්න බෑ. ඒ වගේම ලොකු ආදායමක් ගන්නත් අමාරුයි. ඒ කියන්නේ ගන්න එන මනුස්සයා ලාබෙට ඉඩම ඉල්ලයි!”
“ඒක ඇත්ත! අර අපෙ අයියෙක් එක සැරයක් කිව්වා වගේ - ඉස්සරවෙලාම වත්තේ ගල් කඩලා විකුනලා ඊට පස්සේ පස් කපලා ගඩොල් හදලා විකුනලා, හැදෙන පහත් බිමේ වතුර පුරවලා මාලු ඇතිකරනවා!”
ජයවර්දන මහත්තයා මෙහෙම කියලා හයියෙන් හිනාවුනා. වීරරත්නත් හිනාවුනා, නමුත් ජයවර්දනට අඩුවෙන්. ගාමිනී ගේ ඇතුලේ ඉඳන් එලියට ආවේ “ඒ ලොකු අප්පච්චිට මොලේ තියෙනවා!” කියලා හිනා වෙවියි.
“ඇයි එහෙම කිව්වේ?”
“ඇයි අප්පච්චී එතකොට නිකම්ම නේ සල්ලි එන්නේ? කිසි වියදමක් නෑ - අපිට මේ ගෙදරම ඉඳන් වැඩ බලාගන්නත් පුළුවන්!”
වැඩිහිටියෝ දෙන්නා මුහුනෙන් මුහුන බැලුවා.
“එතකොට පුතා කියන්නේ මේ ඉඩම් විකුනන්නේ නැතුව…?”
“විකුනන්නේ සල්ලි ගන්න නම්, අර විදිහට විකුනන්නෙ නැතුව සල්ලි ගන්න පුළුවන් නම්…? අර මාලු ඇතිකරන වැව පස්සේ විකුනමු!”
වීරරත්නට හිතුනා මේ කතාව වැඩිදුර යන්න ඉස්සර ඉඩමේ වටිනාකමේ මාතෘකාවට නැවතත් ගෙනෙන්න.
“මහත්තයා කියපු ප්රයෝජන වලට වැඩිය තව හිතන්න දේ තියෙනවා. ඔබ තුමා බැලුවේ ඉඩම විතරක් සලකලා - ඒකෙන් පිට දේ අමතක කරලා. නමුත් මේ ඉඩමේ වටිනාකම වැඩි වෙන්න තව හේතු තියෙනවා - මහනුවරට කිලෝමීටර් විස්සකට අඩුයි, මහ පාර ඉතා හොඳයි, පිවිසුම් පාරත් හොඳයි, ලයිට් තියෙනවා, උල්පත් වතුරයි ඇලයි ඕන තරම් වතුර දෙනවා, පස හොඳයි වගේම දැනට හියෙන වැවිලි වලින් ඉඩම දර්ශනීයයි - විශේෂයෙන්ම කඳුවැටි දෙකක් අතර ඇති මිටියාවතක් හැටියට… ආයෙ මොකවත් කිව්වෙ නැතත් ඉඩමේ වටිනාකම බලා ඉද්දී ඉහල යනවා!”
ජයවර්දන මහත්තයා ටිකක් සද්ද නැතුව කල්පනාකරා.
“හ්ම්… ඔය කාරණා මේ ඉඩමේ පාවිච්චියට බලපාන්නේ කොහොමද? ආයෙ මොනවද මේ ඉඩමේ කරන්න පුළුවන්?”
“මහත්තයා දන්නවද ගෙවල් අයිතිකාරයෝ කීදෙනෙක් දැන් කාමර සංචාරකයන්ට කුලියට දෙනවද කියලා? ඉස්සර වගේ ලොකු ටුවරිස්ට් හෝටල් වලයි ගෙස්ට් හවුස් වලට හරවපු පරන වලව් වලයි විතරක් නෙවෙයි දැන් එන සංචාරකයෝ නවතින්නේ. මුලු ගෙදරක්ම හරි ගෙදරකින් කොටසක් හරි කුලියට ගන්න පුළුවන් ඒ අයට අංතර්ජාලෙන් ‘එයා බී ඇන්ඩ් බී’ වගේ සේවාවක් පාවිච්චි කරලා. ඒ අය වඩාම හොයන්නේ ලොකු හෝටල් වලින් ඈත්වුන, හෝටල්වලට වඩා රටේ සාමාන්ය මිනිස්සුන්ට කිට්ටුවෙන් ඉන්න පුළුවන් තැන්. මේ වගේ ගමක් නියමයි ඒ වැඩේට. අනික, පිටරැටියෝ විතරක් නෙවෙයි අපේම නගරවල ඉන්න අය කැමතියි නිවාඩුවකට ගම්බද තැනකට එන්න…”
“…. මං කියන්නේ මහත්තයා මේ වගේ ඉඩම් මිලට ගන්න ඉන්නේ කෘෂිකාර්මිකයෝ - වැවිලි කාරයෝ විතරක් නෙවෙයි, හෝටල් කාරයෝ, මුදලාලිලා, විශ්රාමිකයෝ, සමහරවිට දේශපාලනෙන් සල්ලි හොයපු උන්… එහෙමයි හිතන්න ඕනෑ!”
“එහෙම අය හොයා ගන්නේ කොහොමද?”
වීරරත්න යන්තම් හිනාවුනා.
“ඒක මගෙ රස්සාව මහත්තයා”
වීරරත්න ගේ හිනාවෙන් පෙනෙනවා ඵලදායී ගනුදෙනුවක් වෙන්න බොහොම ඉඩ ඇති බව. ජයවර්දනටත් සන්තෝසයි මේව් අගේ අවස්ථාවක් ගෙදරටම ඒම ගැන. මේ සතුටුදායක වාතාවරනය රැකගන්නදෝ දෙන්නම විනාඩියකට නිශ්ශබ්ද වුනා. ඒ හිස්තැන බිඳදැම්මේ ගාමිනියි.
“මං කැමති ලොකුඅප්පච්චිගෙ විදිහට”
“ගඩොල් කපන්න? වැව් හදන්න?”
“නෑ…. මේ අන්කල් කිව්වේ ඉඩමයි ඒකේ පාවිච්චියයි වෙන හිතන්න ඕනෑ කියලා - හෝටලයක් කියන්නේ ඉඩමේ පාවිච්චිය නේද?”
“ඔවු… හැබැයි ඉඩම නැතුව ඒක කරන්න බෑ නේ පුතා..”
“අපිට පුළුවන් ඉඩම තියාගෙන හෝටල් කරන මිනිහට ඒක කරන්න කියනවා - හැබැයි අපිට සල්ලි ගෙවලා”
“පුතා කියන්නේ බදු දීලද?”
“මං දන්නෙ නෑ. හැබැයි හෝටලයක් හදන එක වටිනවනම් මිනිස්සු සල්ලි ගෙවන්න කැමතිවෙයි”
වීරරත්නට දැනෙනවා අතේ තිබුන ගනුදෙනුව හෙමීන් නැතිවී යනවා. නමුත් ලේසියට වැඩේ අතහරින්න මිනිහා ලෑස්ති නෑ.
“බද්දට ඉඩම් ගන්න මිනිස්සු හොයන එක ලේසි නෑ - මිනිස්සු හෝටල් හදලා ඉඩම් දියුනු කරන්නේ අනාගතේ ගැන හිතලා. ඉඩම අයිති නැත්නම් ඒකේ හෝටල් හදන්න මිනිස්සු කැමති වෙන එකක් නෑ”
ජයවර්දනත් ගාමිනී වගේ හිතලා බැලුවා.
“අනික් අතට බද්දට ඉඩම් ගන්නකොට මූලික වියදම බොහොම අඩුයි. ඒ කියන්නේ කරන බිස්නස් එකට වියදම් කරන එක ලේසියි. හෝටල් වැඩේ හරිගියෙ නැත්තම් පාඩුවත් අඩුයි…. මිස්ට වීරරත්න මම මේක ගැන තව ටිකක් හිතලා බලලා කෝල් එකක් දෙන්නම්”
වීරරත්න මහත්තයා තමාගේ නාම පත්රය ජයවර්දන මහත්තයට දී සමුගත්තේ හිනා මුහුනින්.
“මම කෝල් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. කෑමටත්,මාත් එක්ක කතා කරන්න වෙලාව මිඩංගු කරාටත් බොහෝම ස්තුතියි. අපි ගිහින් එනවා මහත්තයා”
නමුත් ඔහුගේ හිතට ආවේ වෙන අදහසක්.
“මහ එවුන්ගෙ කතා වලට ඇඟිලි ගහන්නෙ නැතුව ඉන්න පොඩි උන්ට උගන්නන්න බැරි මුං මොන වගේ අම්ම අප්පලාද? නොදකින් - තුඃ විතරක්!”