ඔබේ නමින්

“ඔබේ නමින්, සෑය බැඳිමි, විමානයෙන්, බසිනු මැනවි …. ඔබේ නමින් … හා … තිලකරත්න … මොකද අද උදෙන්ම? … සෑය බඳිමි ….”

“සර් අද කොළඹ හෙඩ් ඔෆිස් යනවා කිව්වා නේද? මං හිතුවේ අරගෙනයන දේ ලෑස්ති කරගන්න උදව්වක් ඕනද කියලා…”

“තැන්ක් යූ … බට් නෝ තැන්ක් යූ … අර කඩදාසි මිටියේ ඕන සේරම තියෙනවා … හැබැයි තේ එකක් දාමුද? මං නැති දවස් කීපේ වැඩ ගැනත් කතා කරගන්න පුළුවන්”

මම සඳුදා උදේම කංතෝරුවට යන්න හේතු කීපයක් තිබුනා. පලවෙනි හේතුව තමා ලොක්කා නැති දවස් කීපේ විය යුතු වැඩ කොටස ගැන සම්පූර්න ලැයිස්තුවක් සදා ගැනීමේ ඕනෑකම. දෙවෙනි හේතුව වුනේ ඊලඟ දවස් තුනේ මම කංතෝරුවේ ලොක්කා වීම, පලමුවෙනි සැරේට. ‘ලොක්කා’ කිව්වට කංතෝරුවේ වෙන කවුරුවත් නෑ - ලොක්කයි පුංචයි දෙන්නම මමයි. නමුත් ආපෙ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුරේ කංතෝරුවෙන් යම්කිසි ඉල්ලීමක් හෝ විමසීමක් ලැබුනොත්, ව්ශේෂයෙන්ම අධ්යක්ෂක කෙනෙක් හෝ ජ්යෙෂ්ඨ ඉන්ජිනේරුවෙක්ගෙන්, ඒවට පිළිතුරු සැපයීම මීට ඉස්සර මම කරලා නෑ. ඒවා ‘ලොක්කගෙ වැඩ’ හැටියටයි මම දැක්කේ. ඊලඟ දවස් තුනේ ඒක මගේම රස්සාවේ කොටසක්.

අනුරාධපුරේ වාරිමාර්ග දෙපාර්තමේන්තු කංතෝරුවේ පරිසරයට අදාල වැඩ සිද්ධ වුනේ අපි දෙන්නගෙ අතින්. අපෙ කංතෝරුව දෙපාර්තමේන්තු කංතෝරුවට අල්ලලා තිබුනත් අපෙ වැඩ වලට දෙපාර්තමේන්තුවෙන් ඇඟිලි ගැහුවෙ නෑ. විශේෂයෙන්ම, මගෙ ලොක්කා විශ්රාම ගිහින් අවුරුදු කීපයක් ගතවී තිබුන නිසා එයා වැඩකලේ ව්යාපෘතියෙන් ව්යාපෘතියට තමා කැමති විදිහටයි. මම දෙපාර්තමේන්තුවෙන් පත්වීම ලැබුවේ ලොක්කගෙන් හැකි පමන මගේ දැනුමයි නිපුණතාවයි දියුනු කරගන්නා ලෙස උපදෙස් සමගයි. මම හිත්න්නේ පසුගිය අවුරුදු තුනේ මගෙ දැනුම විතරක් නෙවෙයි පරිසරයටත්, එහි ජීවත්වන්නන්ටත් ඇති ආකල්පයත් සෑහෙන්න වර්ධනයවුනා කියලයි මම හිතන්නේ.

“හෙට හවස් වෙනකොට අර ජලය බෙදීමේ වාර්තා එයි. ආවෙ නැත්නම් ජයරත්න බංඩට කතා කරලා ඉල්ලගන්න පුළුවන්. ඒ වාර්තා ආවට පස්සේ දවස් දෙකක්වත් යයි එයාට ඕන රිපෝට් එක ඉවර කරන්න කියලා කිව්වොත් මිනිහා කොහොම හරි බඩු එවයි! වර්ෂාපතන ගනං ඉන්ටනෙට් එකෙන් ගන්න පුළුවන්. ඒක දැනටත් බාගෙට කරලා තියෙන්නේ - ෆයිල් එකේ ඇති. මං කොළඹින් ඕන සිතියම් එවන්න සෙට් කරලා තියෙන්නේ - එහෙන් එව්වලු, අද නැත්තම් හෙට එයි…. ඒවා සේරම එන්ටර් කරන්න ඕන රෙපෝට් එකටයි ප්රසන්ටේශන් එකටයි… රෙපෝට් එක තියෙන ෆෝමැට් එකට - ප්රසන්ටේශන් එකක් තිලකරත්න අළුතෙන් ඩිසයින් කරගන්න…”

අපි තේ තොලගාමින් වැඩ මාලාව සකස් කලා. තව පැයකින් කොළඹ යන වාහනේ එන බව දැනගෙනත් ලොක්කා හදිස්සියක් පෙන්නුවෙ නෑ.

“….සමහරවිට අපෙ මංත්රී පොර කෝල් කරයි. එයාගෙ කංතෝරුවේ කවුරුහරි කතාකරොත් කියන්න මම කොළඹ ගිහින් - ආයෙ සිකුරාදා කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. මිනිහම කතාකරොත් මගෙ මෝබයිල් නොම්බරේ දෙන්න - හමුවෙන්න ඕන කිව්වොත් තිලකරත්නට යන්න වෙනවා මිනිහගෙ කංතෝරුවට, මොන වැඩ තිබුනත්. ඌට මොලේ තියෙනවා - තරහකරගන්න එක අපිට පාඩුයි. අනික … තිලකරත්නත් පුරුදුවෙන්න ඕනෑ අපෙ රට රකින දෙවියන්ට කතා කරන්න!...”

බොහොම පොඩි හිනාවකින් ඒ වචනේ සැරසුනේ.

“මතක තියාගන්න වටින තව එකක් - කංතෝරුවේ ලොක්කා හැටියට…. අපි මෙතන කරන්නේ රස්සාවක් - ඒකට ආංඩුව අපිට පඩි දෙනවා. අපේ ශ්රමය - හැකියාවන්, නිපුනතාවන් වගේ දේ - ආංඩුව සල්ලි දීලා ගන්නවා. ඒක කොන්තරක්කුවක්. මතක තියා ගන්න - ආංඩුව මිලදී ගන්නේ අපෙ වෙලාව නෙවෙයි - වැඩ කොටසකවත් මිනිහෙක්ගෙවත් වටිනාකම පැය වලින් මනින්න බෑ. අපි ගන්න පඩියට හරියන්න වැඩ නොකරොත් ඒක කොන්තරක්කුවට පටහැනි වංචාවක්…. ඒක එක පැත්තක්. අනික් අතට, කොච්චර ලොක්කෙක් උනත්, ලැබෙන පඩියට වැඩිය ශ්රමයක් බලාපොරොත්තුවෙන්න ආංඩුවටත් බෑ. ඒකත් මතක තියාගන්න…. සමහරු තත්වේ ඉහල යන්න යන්න වැඩ කරන පැය ගනන වැඩි කරනවා. මගෙ හොඳ මිත්රයෝ ඉන්නවා පුද්ගලික ජීවිතේ කාබාසිනියා කරගත්ත - මුලු ජීවිතේම රස්සාවටම කැප කරලා … ගොං යක්කු….. උංගෙ ශ්රමය වැඩි වටිනාකමක් නැතුව ඇති පඩිය උපයගන්න රෑ දහය වෙනකම් වැඩකරන්න වෙන්නේ. තව උං ඉන්නවා මාර විදිහට අයිස් ගහ ගහ - උං කෙලින්ම හොරු!”

ලොක්කගෙ මුහුනේ තියෙන්නේ බැරෑරුම් බැල්මක්.

“ඔය දෙපැත්තෙන් එක පැත්තකටවත් යන්නෙ නැතුව ඉන්න වග බලාගන්න ඕන. මේ කංතෝරුවේ දුවන්නේ මධ්යම ප්රතිපදාව විතරයි. බුදුහාමුදුරුවන්ට හොඳනම් මටත් හොඳයි! මං කියන්නේ - තමා ලොක්කා කියලා වෙනස් වෙන මිනිහා ලොක්කෙක් වෙන්න වටින්නෙ නෑ! අපෙ මංත්රී වගේම තිලකරත්නගෙ ඉස්කෝලේ නෝනා ගැනත් හිතන්න ඕන!”

මෙහෙම කියලා මගෙ පිටට අතින් පාරක් ගහලා ලොක්කා කෝප්ප දෙකම අරගෙන කුස්සිය පැත්තට ගියා. මම මගේ පුටුවෙන් නැගිට්ටේ ලොක්කා කඩදාසි ගොන්නත් මේසේ යට තිබුන ඇඳුම් මල්ලත් උස්සගෙන කාමරෙන් එලියට යන්න පිටත් වෙනකොටයි.

……………….

මම ලොක්කා ලියලා තිබුන රිපෝට් සාරාංශයට අන්තර්ජාලෙන් සොයාගත්ත වර්ෂාපතන ඇතුලත් කරන්න පටන්ගත්තේ ලොක්කා පිටත්වෙලා පැය බාගෙකින් විතර. මිස්ට ජයරත්න බංඩගෙ වාර්තා දවල් වෙනකොට එනබවට එයා පොරොංදුවුන නිසා මම වර්ෂාපතන කොටස පළමුවෙන් ඉවරකරන්න තීරනේ කරගත්තා. නමුත් ඒ කාර්ය කාලක්වත් ඉවර නෑ ලොක්කගෙ මේසේ උඩ ටෙලිෆෝන්එක නාද වෙනකොට.

“වාරිමාර්ග පරිසර ඒකකය - මේ බුද්දි තිලකරත්න, හලෝ?”

“ආ… ලොක්කා ඉන්නවද?”

“නෑ… දැන් කොළඹ ගියා… කවුද කතාකරන්නේ?”

“හා මිස්ට තිලකරත්න… මම සමන්ත සමරසිංහ… කවද්ද ලොක්කා ආපහු එන්නේ?

“මංත්රීතුමා… ලොක්කා ආයෙ සිකුරදා තමා එන්නේ සර්… සර් කතාකරොත් ලොක්කා කිව්වා මෝබයිල් නොමබරේ දෙන්න කියලා - සර් ලියාගන්නවද?”

“හ්ම්… කොළඹ ඉන්න මිනිහට කතා කරලා වැඩක් නෑ…. මට පොඩි උදව්වක් ඕනෑ … මිස්ට තිලරත්නට මගෙ කංතෝරුවට එන්න පුළුවන්ද?”

“පුළුවන් සර් … කීයටද මම එන්න ඕනෑ? මොනවද ගේන්න ඕනෑ?”

“දහයට? අර දිස්තිරික්කේ පරිසරය ගැන ලියපු රිපෝට් එකයි, මෙහෙ ජලසම්පත් ගැන යමක් තියෙනවානම්?... මං බලන්නේ පරිසර දූෂණය ගැනසොයා බලන්න… ඒකට අවශ්යයි කියලා හිතෙන දෙයක්?... වාහනයක් තියෙනවද?”

“බයිසිකලේ තියෙනවා සර්… මම දහයට එනවා සර්…”

“රයිට්”

මම ටෙලිෆෝනේ තිබ්බේ ‘ලොක්කා නැති වෙලාවෙම මේවා වෙන හැටි!’ කියල හිතමින්. ඊලඟ පැය බාගෙ මම ගෙව්වේ පරන සිතියම්, වාර්තා වගේ අවශ්ය වෙයි කියලා හිතෙන සියළුම දේ එක් රැස් කරගන්නයි. මම මංත්රී කාර්යාලෙට යනකොට හරියටම නමයයි පනස් පහයි.

දහයයි හතලිහට මට මංත්රීතුමා දැකගන්න ලැබුනා. ලොකු මේසයක් වටේ හත් අටදෙනෙක් වාඩිවෙලා හිටියා නොනවත්වා කතාවේ යෙදිලා. මට කාමරේට හඬගහපු නොනා මාව හඳුනා දුන්නේ අනික් කතා මැදදී.

“සර් මේ බුද්දි තිලකරත්න - අර පරිසරය ප්රොජෙක්ට් එක ගැන…”

“ආ… තිලකරත්න… අර පුටුව මෙහාට ඇදගන්නවද?? තේ එකක්?”

“නෑ සර්…”

මම කවුරුත් මගෙන් ප්රශ්නයක් අහනකම් මම සද්ද නැතුව හිටියා. අනික් අය ඒ අයගෙ කතා ආයෙත් පටන්ගත්තා - කතා පරිසරයට සම්බංදයක් තිබුනානම් මට ඇහුනෙ නෑ.

“ඉතින් ඒ කොට්ටාසේ ජයසේනගෙ කට්ටියට බාරදීලා බෑ…. දැක්කනෙ අපිට හොඳට යමක් පෙන්නුම් කරන්න තිබුනා අස්වැන්නේ වර්දනය ගැන!”

“ඒක ජයසේනලගෙ වැරැද්දක්ම නෙවෙයි… වීරෙට තිබුනා…”

“මං එතකොට අර ජනපද වැඩේට තඹුත්තේගම… අපි බලන්න ඕනෑ…

මම කතාව තේරුම්ගන්න කරපු උත්සාහය අතෑරියා. ගෙනා පොතක කුඹුරු වපසරියේ වෙනස්වීම ගැන ලොක්කා ලියලා තිබුන වාර්තාවක් කියවන්න පටන් ගත්තා. ඒකෙන් ආයෙ ඔලුව උස්සලා බැලුවේ කාමරේ නිහඬතාවයක් දැනිලයි.

“මෙයා නිදි වගේ!”

කාමරේ සේරම මා දිහා බලාගෙන! නිදි කතාව කිව්වේ මේසේ කොනේ හිටපු මිනිහෙක් - මං හිතන්නේ ලොකු මුදලාලී කෙනෙක්.

“මංත්රී තුමා මට එන්න කිව්වේ පරිසරය ගැන කතා කරන්න … ඒ මාතෘකාවට එනකම් මම ඒ ගැන වාර්තාවක් කියෙව්වා…”

මංත්රීතුමා විතරයි හිනා නොවුනේ.

“ඇත්ත… අපි එක්ස්පර්ට් ගෙන්නාගෙන වෙන වෙන දේ කියවනවා… සුදයි වීරෙයි නවතිනවද මේක ගැන මිස්ට තිලකරත්න එක්ක කතා කරගන්න? අනික් අය… දැන් කතාවුන වැඩපිලිවෙල ගෙනියන්න අදහස් ඔබතුමාලා ලඟ තියෙනවා. මේක අළුත් එකක්…”

කතාවක් නැතුව සභාතොමෝ විසිර ගියා - සතුටින්ම නෙවෙයි මට පෙනුන විදිහට. මංත්රීතුමා වහාම කතාව පටංගත්තා.

“මිස්ට තිලකරත්න අපිට සමාවෙන්න ඕනෑ දහයට එන්න කියලා එකොලහ වෙනකමුත් කතාකරගන්න බැරිවීම ගැන. වැරැද්ද මගේ. මේ අළුත් අදහස් එහෙන් මෙහෙන් ඇනලා බැනලා විපරම් කරලා බැලුවෙ නැත්තම් අපි හැමදාම කරන්නේ එකම දේ. නමුත් සාමන්ය එදිනෙදා වැඩත් වෙන්න ඕන නිසාමයි මෙච්චර වෙලා ගියේ…”

“ප්රශ්නයක් නෙවෙයි සර්… මම ඉල්ලපු රිපෝට්, සිතියම් එහෙම ගෙනාවා. නමුත් ඉස්සරවෙලාම මට කියනවද මොකද්ද කරන්න යන්නේ කියලා - ඒකේ අරමුනත් දැනගත්තොත් මට ලේසියි…”

“හරියටම හරි… වීරේ … මේක තේරුම් කරනවද මම චූ කරලා එනකම්?”

මංත්රීතුමා හයියෙන් හිනාවෙලා කාමරෙන් එලියට ගියා.

“මම වීරසේකර - මංත්රීතුමාගේ පුද්ගලික ලේකම්. මේ සුදත් මිත්රසේන, ආචාර්ය සුදත් මිත්රසේන, පේරාදෙනිය විශ්වවිද්යාලේ… මං මිස්ට තිලකරත්නගෙ ලොක්කා හොඳට දන්නවා - එයා තමා කිව්වේ මිස්ට තිලකරත්නට කතාකරොත් හොඳයි කියලා… ඔබතුමා දන්නවා අපිට වතුර වලින් තියෙන කරදර - නියගෙට කරවෙනවා; නොවැම්බර් ඉඳන් පෙබරවාරි වෙනකං වහිනවා - සමහරවිට ගංවතුර ගලනවා… අපි බලන්නේ මේවට දීර්ග කාලීන පිලියමක් තියෙනවද කියලා…”

වීරසේකර මහත්තයා ආචාර්ය මිත්රසේන දිහා බැලුවා.

“මිස්ට තිලකරත්නට හිතෙනවා ඇති මංත්රීවරු අනාගතේ බලන්නේ ඊලඟ චංදෙ දක්වා විතරයි කියලා. එහෙම අය ඉන්නවා තමා… නමුත් මේ මංත්රීතුමා එහෙම කෙනෙක්නම් මම මෙතන ඉන්නෙ නෑ”

මට තේරුනා ඇයි මංත්රීතුමා චූ කරන්න ගියේ කියලා. එයා මෙතන නැතිවෙලාවේ මේ ටික කියවෙන්න ඕන කියලා තීරනයක් ගන්න ඇති. ඒකේ වැරැද්දක් මම දැක්කෙ නෑ. මිත්රසේන ආයෙත් කතාව පටන්ගත්තා.

“දේශගුණ විපර්යාස, ගොලීය උෂ්ණත්වය වගේ දේ ගැන පොත පතේ කියවන එක ලේසියි. බොහොම අය කරන්නේ ඒක විතරයි. නමුත් අපිට ඕනෑ මේ පලාතේ සිදුවී තිබෙන විපර්යාස කෙලින්ම මේ පලාතෙන් එකතුකල දත්ත පාවිච්චිකරලා විභාග කරන්න… තේරෙනවද?... අපි පොතපතේ තියෙන දත්ත වලට මෙහෙට අදාල දත්ත එකතුකරලා බලනවා…”

“මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි… ඊටත් වටිනා ප්රතිපල ලැබෙයිද නැද්ද කියලා කියන්න බෑ කරලා බලනකම්… සමහරු කියයි අපරාද වියදමක් කියලා”

මම දැනගෙන හිටියෙ නෑ මංත්රීතුමා කාමරේ දොරලඟ ඉඳන් මං කියපුදේ අහගේන හිටියා කියලා.

“මං කිව්වේ සුදා වැඩේට හරි මිනිහා මෙයා කියලා …. ඇයි ඔය දෙන්නා ගිහින් මොනවත් කාලා එහෙම මිස්ට තිලකරත්නගෙ කංතෝරුවේ ඉඳන් වැඩ පටන්ගන්නෙ නැත්තේ…”

“අ… සර්… මගෙ ලොක්කා නැතුව මම ඒකට ‘හා’ කියන එක හරි නෑ… මං ලොක්කට කෝල් එකක් දීලා බලන්නද?”

“ඕනනම් කෝල් කරාට කමක් නෑ … මම දැන් විනාඩි තුනකට ඉස්සර කතා කරනකොටනම් මිනිහගෙ විරුද්දතාවයක් තිබුනෙ නෑ!”

……………………

සුදත් එක්ක වැඩකිරීමට ලැබීම මට අධික සතුටට කාරනයක්. ලංකාවේ පමනක් නොවෙයි ලෝකයේ කිහිප රටක පරිසරය පිලිබඳ පර්යේශන පවත්වා, ඒවායේ ප්රතිපල ප්රකාශයට පත්කොට නමක් ගත්ත කෙනෙක් මට මීට ඉස්සර හමුවෙලා නෑ. සුදත්ගේ දැනුම මෙන්ම නිහතමානී කමත් මගෙ හිතට ඇල්ලුවා. සුදත් ගැන ගෙදරදී කියූ දේ නිසා වෙන්න ඇති මාලා මට කිව්වේ බ්රහස්පතින්දා රෑ කෑමට මිනිහා අපෙ ගෙදර එක්ක එන්න කියලා. එදා රෑ තමා අපි ඩොක්ටර් / මිස්ටර් අතෑරලා සුදත් / බුද්ධි ඇමතුමට බැස්සේ.

සිකුරාදා උදේ වෙනකොට අවශ්ය තොරතුරු හඳුනාගැනීමේ කටයුත්ත ඉවරවෙන්න කිට්ටුයි. අපි අදහස්කලේ තොරතුරු අවශ්යතා ලයිස්තුව දෙකට බෙදාගෙන දෙන්නා වෙන වෙනම දත්ත එකතු කිරීමේ කාර්යේ යෙදෙන්නයි. ඒ වැඩ සඳුදා පටන්ගන්නත් අපි තීරනේ කලා - සති අංතය වැඩවලින් නිදහස්ව තියාගන්න. සුගත් සති අංතයට ගෙදර යන නිසා දවල් කෑමට පෙර ලයිස්තුව සම්පූර්න කරගන්න අපි දෙන්නම මහංසිවුනා. අපි වැඩේ ඉවරකරලා දවල් කෑම ගැන හිතන වෙලාවෙයි ලොක්කා කංතෝරුව ඇතුලට ආවේ.

“මං නැතිවෙලාවේ අළුත් අය බඳවාගෙන වගේ… හලෝ සුදත්!”

“කොහොමද කොළඹ? මේ බුද්ධියි මායි අපෙ මංත්රීතුමාගෙ ප්රොජෙක්ට් එක ස්කෝප් කරනවා. මංත්රී කියන්න ඇතිනේ?”

“ඔව් ඔව් පොර මට සඳුදාම කිව්වා…. තිලකරත්නගෙ අනික් වැඩ හුඟක් අතපහු වුනාද?”

“… ටිකක් අතපහුවුනා සර්… රිපෝට් එකට ඩේටා දාන්න පටන්ගත්තට පොඩ්ඩ්ඩකට පස්සේ මංත්රීතුමා කෝල් කරේ… ඊට පස්සේ ඒ වැඩේ තමා දැන් වෙනකම්…”

“කරන්න දෙයක් නෑ…. කොහොමද මංත්රියගෙ වැඩේ?”

“අපි දෙන්නා කරන්න ඕන වැඩටිකේ ලයිස්තුව හදලා දැන් ඉවරවුනේ… සඳුදා ඒකේ වැඩ පටන්ගන්න පුළුවන් මෙතන අනික්වැඩ හදිස්සි නැත්නම්… ප්රෙසන්ටේශන් එක සතිඅංතයේ කරලා දාන්න පුළුවන් හදිස්ස්සිනම්…”

ලොක්කා මා දිහා බලාගෙන හිටියේ “උඹට මං කියපු එකක්වත් මතක නැද්ද?” කියනවා වගේ. නමුත් කතාකලේ අජිත්ට.

“සුදත් මංත්රීතුමාට ප්රොජෙක්ට් අප්ඩේට් එකක් දෙනවද?”

“මං බැලුවේ කෙලින්ම ගෙදර යන්න…. ඒ ඔෆිස් එකට ගියොත් හවස් වෙනවා එලියට එනකොට…”

“ඩෝන්ට් වොරි… මං කෝල් එකක් දෙන්නම්”

……………………………

සුදත් ගියාට පස්සේ මම ලොක්කටයි මටයි තේ හැදුවා. ලොක්කා ගෙනා රෝල් කීපයක් බෙදාගෙන දවල්ට කෑවේ ලොක්කා මංත්රිගෙ කංතෝරුවට කතා කරාට පස්සෙයි.

“කොහොමද අපෙ රටේ පාලකයා? කොච්චර වෙලා රස්තියාදු ගහන්නවුනාද පොර හම්බවෙන්න ඉස්සර?”

“විනාඩි හතලිහක් හිටියා එලියේ කාමරේ… මංත්රිගෙ කාමරේ තව පැය බාගයක් විතර හිටියා අනික් මිනිස්සු එක එක දේ සාකච්චා කරනදේ අහගෙන! හැබැයි මංත්රීතුමානම් සමාව ඉල්ලුවා පරක්කුව ගැන…”

“මිනිහා අනික් අය තරම් නරක නෑ - මොලෙත් තියෙනවා, තවම ‘මං තමා මෙතන ලොක්කා!’ කියලා මිනිස්සුන්ට සැරදාන්න පටන්ගෙනත් නෑ - තවම. අනික් අතට, එයත් දේශපාලනේ කරනවා. ඒ කියන්නේ, තමාගේ තැන ටිකින් ටික උසස් කරගන්නයි, වෙන කිසිකෙනෙකුට එයාගෙ ආසනේ නොලැබෙන්නයි වැඩ කරනවා. ඒකට තමයි ඔය තරම් හෙංචයියලා ඉන්නේ. ඒවා වෙනස්වෙන්නෙ නෑ මේ සිරි ලංකාවේ. හැබැයි එහෙමදේ චරිතකථාවකට නම් කවදාවත් ඇතුලත් වෙන්නෙ නෑ!”

“මම හිතුවේ මංත්රීතුමා ඇත්තටම අවංක මිනිහෙක් වගේ… නැත්තම් ඩොක්ට මිත්රරත්න වගේ හොඳ අය කිට්ටුවෙන් තියාගනීද?”

“එහෙම කරන ඒකේ වටිනාකම ඔය මෙතනම පෙනෙන්න තියෙන්නේ! තිලකරත්න වගේ අනික් චංද දායකයොත් ‘අනේ හොඳ මනුස්සයා - දක්ශයෝ වටකරගෙන ඉන්නේ රට වෙනුවෙන් වැඩක් කරන්න නේද’ හිතුවොත් මිනිහගෙ උපායමාර්ගය වැඩ කරලා!... නෑ…. නෑ…. මං කියන්නෙ නෑ මිනිහා නරකයි කියලා. මං කියන්නේ දෙපැත්තම හිතලා වැඩකරන්න වටිනවා - කවුරුත් තවම බුදුවෙලා නෑ!”

“මට නම් මිනිහා හොඳටම ඇල්ලුවා …. “

“මට පෙනෙන්නේ මිනිහා තිලකරත්නවත් අල්ලලා… ටිකක් පරෙස්සමෙන් ඉන්න ඕනෑ තිලකරත්න - මිනිහා දේශපාලනේ කරන්නේ; මිනිහගෙ විරුද්දකාරයෙක් මංත්රී හැටියට පත්වුනොත් තිලකරත්න එයාටත් සලකන්න ඕනෑ මෙයාට සලකන විදිහටම … ආංඩුවේ සේවකයෙක් හැටියට”

මම ටිටක් කල්පනා කරා - ලොක්කගෙ කතාව වෙනදට වඩා ටිකක් වෙනස්.

“ඇයි සර් අද මට ලෙක්චර් දෙන්නේ? මං වැරැද්දක් කරලද?”

“නෑ… අනාගතේ වැරදි නොකරන්න දැන්මම ලෑස්තිවෙන්න ඕන කියලා මං කියන්නේ… මේ කංතෝරුවේ ලොක්කා උනාම ඔයවගේ දේ හිතන්න ඕන”

“මං ඒවා සර්ට තියලා මං මගෙ වැඩේ හොඳට කරොත් ඇතිනේ?”

“හ්ම්… දැනට ඒකට ‘ඔව්’ කියලා කියමු. මං අපෙ මංත්රී හොඳට අඳුරනවා - හොඳ මිනිහා. නමුත් අපි කිසි කෙනෙක් ඔනෑවට වැඩිය උඩින් තියන්න හොඳ නෑ”

“සර් අර වීරසේකරට මට ප්රොජෙක්ට් එක ගැන කියලා දෙන එක බාරදීලා ‘මං චූ කරලා එනකම්’ කියලා මංත්රී කියනකොට මට හිතුනා එයා අනික් අයට පෙනෙන්න උඩුමහලට නගින කෙනෙක් නෙවෙයි වගේ කියලා…

අපෙ කතාව එතනින් නැවතුනා. මම හිතුවේ මගෙ පැත්තෙන් බලනකොට ලෝකේ පෙනෙන හැටි ලොක්කට පැදිලිවෙන්න ඇති කියලා. ඒ ගැන මට සතුටක් දැනුනා - මම දන්නවා ලොක්කා හිතන හැටි; ලොක්කා දන්නවා මම හිතන හැටි. මට විස්වාසයි ආයෙ මේ ගැන ගැඹුරට හිතන්න ඕන නෑ කියලා.

වැඩ ඉවරවෙලා ගෙදර යන්න කිට්ටුවයි මේ අවබෝධය ගැන මට පොඩි සැකයක් ඇතිවුනේ. ඒ ලොක්කා හීන් හඬකින් කියන සිංදු කෑල්ලක් ඇහිලයි.

“ඔබේ නමින් ප්රොජෙක්ට් කරමි… උඩුමහලෙන් බසිනු මැනවි… ස්වර්නමාලියේ, චූබර ස්වර්නමාලියේ…”