කතා කාරයා

කතා කාරයා

“මල කෙලියයි! ඉතින් බංඩයියා මොකද කරේ?”

“ඉතින් මං මොනවා කරන්නද … කරුවලේ කිසි දෙයක් පෙනෙන්නෙ නෑ … දුවනවා තියා ඇවිදින්නවත් බෑ - කකුල් වෙවුලනවා, පපුව ගිඩි ගිඩි ගානවා … අඩුම ගානේ කෑ ගහන්නවත් බෑ - උගුර වේලිලා … බස බස ගාන සද්දේ දැන් හොඳටම ලඟයි…”

වේලීගිය උගුර තෙමාගන්න වගේ බංඩා තේ උගුරක් බීලා කෝප්පේ ආපහු බංකුව උඩින් තිබ්බේ බොහෝම පරෙස්සමෙන්, හරියට අත වෙවුලන නාකි මිනිහෙක් වගේ. මුදලාලී ඇරුනුකොට තව හය හත් දෙනෙක් බංඩගෙ කතාව අහගෙන ඉන්නවා, ගත්ත බඩුමුට්ටුත් එල්ලාගෙන. පැට්රොමැක්ස් එලියෙන් බඩු කිරන මුදලාලිගෙ පවුලත් අතට ගත්ත රතුලූනු තරාදියට නොදා කතාව අහනවා.

“මම එතන තණ කොළ ගොල්ලේ දන ගහලා හෙමීන් ඉතිපිසෝ ගාතාව කියන්න පටංගත්තා … ‘බුද්දෝ බගවාතී’ කියලා ඉවර උන ගමන් එතනම බිම දිගාවෙලා ඇස්දෙක වහගත්තා!”

…………………..

බංඩගෙ කතා දක්ශ කතෘ කෙනෙක් ලියූ කෙටි කතා වගේ. නිතරම වගේ මේ කතා වලට කේන්ද්රයවුනේ තමාමයි, නැත්නම් තමාගෙ ලඟ නෑදෑයෙක් හෝ මිත්රයෙකුයි. කෝකියෙක් හැටියට ලංකාවේ වගේම මැදපෙරදිග රටවල් වලත් වැඩ කරතිබුන නිසා මේ කතා ගමටවත් රටටවත් සීමාවුනේ නෑ. ඊටත් වැඩිය, මිනිහා කතාංදර කියන්න බොහෝම දක්ශයි - පාවිච්චිකල බාශාවත් කතාව දුවන වේගයත් විතරක් නෙවෙයි අතරමග විරාමත් කතාවටත් සභාවටත් හරියටම උචිත විදිහට උපයෝගීකරගත්තා. අවස්තාවක් ලැබුනානම් බංඩා ප්රසිද්ද කතෘවරයෙක් හරි නළුවෙක් හරි වෙන්න තිබුනා කියලා ගමේ අය කිව්වා.

බංඩගෙ ජීවිතේ හරියට ජනප්රිය ටෙලිනාටකයක් වගේ කියලා කිව්වේ මුදලාලිගෙ පවුලයි. නාටකයේ නළුවෝ, ස්ථාන, කාලය වගේ දේ සතියෙන් සතියට වෙනස් වුනත් හැම කතාවම රසවත්. හංදියේ කඩේ මුදලාලී බංඩට හොඳින් සැලකුවේ කඩ බංකුවේ කතාවලින්. තේ සහ බීඩි අලවිය සරුවීම නිසා කියලත් සමහරු කිව්වා.

දැනට වයස හැත්තෑ පහකට කිට්ටු බංඩා කුඩාතැන්න ගමට ඇවිත් තියෙන්නේ වයස දහයේ පොඩි එකෙක් හැටියට. ඒ කතාවත් ටෙලිනාටකයක කොටසක් වෙන්න වටිනවා.

කුඩාතැන්නේ ඉස්කෝලේ තට්ටු දෙකේ ගොඩනැගිල්ල හදන කාලේ ගමේ ඇතිවෙන තරම් බාස්ලා ඉඳලා නෑ. කොන්තරක් කාරයෝ පිට ගම් වලින් මේසෙන් බාස්ලා, වඩු බාස්ලා එහෙම ගෙනාවා. හොඳ වඩුබාස් කෙනෙක් හැටියට බංඩගෙ තාත්තා ඉස්කෝලේ වැඩට ආවේ තනියම නෙවෙයි, පුතත් එක්කයි. ඊට අවුරුදු පහකට ඉස්සර තමංගෙ පවුල නැතිවුනැන් පස්සේ, මුදියන්සේ ආයෙ කසාදයක් බැඳගන්න හිතුවෙ නෑ. තමාගෙම කියලා ගෙදරක් අටවාගන්න හිතුවෙත් නෑ. පරම්පරාවෙන් ආ ඉඩමත් විකුනලා පුතත් එක්ක වැඩ තියෙන ඕනෑම තැනකට යන්න පුරුදුවුනා. මේ අහිකුන්ටික ජීවිතේ තාත්තටත් පුතාටත් හොඳටම ඇල්ලුවා. පුතා තාත්තගෙ වැඩට ප්රදාන උදව්කාරයා හැටියට විතරක් නොවෙයි නැවතිලා හිටපු වාඩියේ හෝ කුලී කාමරේ වැඩකටයුතුත් බලාගත්තේ බංඩයි. කෑම් ඉවීමේ කටයුතු පොඩි කාලේ පටන් හුරුඋනේ මේ නිසයි.



බංඩා දිනපතා ඉස්කෝලේ යන්න පටන්ගත්තේ ඉස්කෝලේ ලොකු මහත්තයාගෙ බලකිරීම නිසයි. බස්නායක මහත්තයා බංඩා තුනේ පංතියට ඇතුල් කලේ ඒ පංතියේ අනික් ළමයි බංඩට වඩා බාල බව දැන දැනයි. නමුත් එකදිගට මාස හයකට වැඩිය ඉස්කෝලේ නොගිහින් තිබුන නිසා මෙය හරි තීරණයක් හැටියටයි මහත්තයා දුටුවේ. කෙසේ වෙතත් බාලයන්ට වැඩිය ඉක්මනට පාඩම් අන්තර්ග්රහණය කිරීමේ හැකියාව නිසා මාස දෙකකින් තුනේ පංතියෙන් හතරවන පංතියට ඉහළ නැගීමට බංඩට පුළුවන් වුනා. නිතර සිනාමුසු මුහුනින් හිටිය බංඩගේ ඉගෙනීමේ හැකියාවත් පියකරු ස්වභාවයත් නිසා බස්නායක පවුලේ අයගෙ හිත දිනාගන්න ඒ තරම් කාලයක් ගියේ නෑ. පාසැල් ගොඩනැගිල්ලේ වැඩ ඉවරවෙන්නත් කලින් බංඩා බස්නායක ලොකු මහත්තයගෙ ගෙදර වැඩට නවත්තා ගන්න බංඩගෙ තාත්තා කැමති කරවාගන්න මහත්තයට පුළුවන් වුනා.

නිතරම හිනාවෙන් ඉන්න, කතාවට දක්ශ බංඩා වැඩිකල් යන්න ඉස්සර ඉස්කෝලෙත් ගමෙත් බොහොම අය එක්ක යාළුවුනා. බස්නායක මහත්තයගෙ ලොකු පුතාගෙ වැඩට බංඩා කොළඹ ගියේ අටේ පංතියත් ඉවර කරලයි. ඒ පොඩි බස්නායක මහත්තයා නිසා තමා බංඩට පිටරට යන්නත් අවස්තාව ලැබුනේ. ඒ දවස්වල තමා බංඩගෙ නමත් වෙනස්වුනේ.

බංඩගෙ දෙමව්පියෝ දීපු හේරත්බංඩා නමටත් වඩා ඉස්කෝලේ ළමයි දීපු නම්වානම ගමේ ප්රසිද්ද්වුනා. කොන්ඩේ ඉතා කොටට කපා තිබුන නිසා හැමෝම බංඩා ඇමතුවේ ‘ටොම්බා’ කියලයි. බංඩත් මේ නමට හිනාවුනා මිස අමනාපයක් පෙන්වුවේ නෑ - බංඩගෙ ජනප්රියත්වෙට මේකත් තව හේතුවක් වුනා. කල් යනකොට බස්නායක පවුලේ අය ටොම්බා වෙනුවට ටොම් කියලා බංඩට කතා කරන්න පටන්ගත්තා. ගාමිනී බස්නායක මහත්තයත් එක්ක කොළඹ යන කාලේ ඒ මහත්තයා බංඩට ‘ටොම්’ නැත්තම් ‘තොමස්’ කියලා ඇමතුවා - බංඩා පිටරට ඉන්න කාලේ ‘ටොම් බංඩා’ හෝ ‘තොමස් බංඩා’ ලෙසයි මිනිස්සු එයා හඳුනා ගත්තේ.

………………

“මම හෙල්ලුනේම නෑ. ඇස් ඇරියෙත් නෑ - අහෙන එකම සද්දේ මගෙ පපුව දඩ දඩ ගාන එක විතරයි. බස බස සද්දේ නැවතිලා - ඉතිපිසෝ ගාතාවේ සත්තේ තමයි”

ටොම් බංඩා තවත් තේ උගුරක් බීලා දනපාල දිහා බලලා අත දික්කරලා “බීඩියක් දීපංකෝ” කිව්වා.

මෙහෙම වෙලාවට බංඩට බීඩියක් නොදෙන කෙනෙක් නෑ. දනපාල්ගෙන් ගත්ත බීඩිය කීප සැරයක් ඇදලා අලංකාර දුම් වලල්ලක් පිට කරලයි ආයෙත් කතාව පටන්ගත්තේ.

“ඉතිපිසෝ ගාතාව නොදන්න කෙනෙක් ඒ පාරේ රෑ ගියොත් ආයෙ…. “

“ඉතින් මොකාද පස්සෙන් එලෙව්වේ?”

දනපාලට හිතෙන්න ඇති බීඩියකුත් දීපු නිසා ප්රශ්න අහන්න අයිතියක් ඇති කියලා. නමුත් බංඩා ලේසියට කතාව වෙනස් කරන්නෙ නෑ, අනික් අයගෙ ඕනෑ කමකට.

“අපෙ අම්මා තමා මට ඉතිපිසෝ ගාතාව ඉගැන්නුවේ”

තමංගෙ අම්මා ගැන යමක් කියවුනොත් ආයෙ කවුරුත් ප්රශ්න අහන්නෙත් කියන දේකට විරුද්ද වෙන්නෙත් නැතිබව සේරම පිලිගත්ත දෙයක්.

“ඔහොම තණ කොළ ගොල්ලේ මම කොච්චර වෙලා හිටියද කියලා හරියට කියන්න බෑ. ඒ වෙලාවෙනම් දැනුනේ පැය ගානක් වගේ. නමුත් විනාඩි දහයකට වැඩිය නෑ මං හිතන්නේ…. බස බස සද්දේ වෙනුවට මට ඇහෙන්න ගත්තේ බෙර ගහන සද්දයක් - පංසලක හේවිසි පූජාවක් වගේ - ඇහෙන්නේ හරියට ඔලුව ඇතුලෙම බෙර ගහනවා වගේ . …. හැබැයි ඒ පලාතේ පංසලක් තියා ගෙයක් දොරක්වත් නෑ!”

“පපුවේ ගිඩි ගිඩියයි කනේ බෙර සද්දෙයි … අප්පොච්චියේ … ආයෙ නම් ඒ වගේ එකක් මට නෙවෙයි මගෙ තරහ කාරයෙකුටවත් වෙන්න එපා කියලා මම කියන්නේ…”

“අර කතාවක් තියෙනවානේ මැරෙන්න යන කෙනෙකුට ගෙවපු මුලු ජීවිතේම පේනවා කියලා, බයිස්කෝප් එකක් වගේ - ඒක සම්පූර්න බොරු! මොන බයිස්කෝප්ද ඒ වෙලාවට? මට දැක්කේ මං ගෙවපු ජීවිතේ නෙවෙයි … ඒ වෙනුවට මගෙ කෙටි අනාගතේ තමයි මගෙ ඔලුවට ආවේ”

ආයෙත් තේ උගුරක්, බීඩි උගුරක්, පොඩි කැස්සක්.

“මගෙ අත පය කඳෙන් වෙන් කරලා දායිද? ඔලුව ගහක් උඩ තියයිද? බඩවැල් … අප්පේ මට හිතුන දේවල්! මේ එන එකා මහසෝනා වගෙ මිනීමස් කන එකෙක්ද?”

මුදලාලිගෙ පවුල කඩ බක්කියට හේත්තුවෙලා ඇස් වහගත්තා. දනපාල ටිකක් බංඩගෙන් ඈත්වෙලා කඩේ පිලේ වාඩි වුනා. මුදලාලී පොඩි තේ කෝප්පයක් ගෙනත් බංඩා ලඟ බංකුව උඩ සීරුවෙන් තියලා පස්සෙන් පස්සට ආපහු කඩ බක්කිය ලඟට ගියා.

“මම ඇස් යාන්තං ඇරලා බැලුවා …. පාරේ පෙනෙන්න කිසිම දෙයක් නෑ… ආපු මල යකා ගිහින් ඇති කියලා මට හිතුනා. හැබැයි හිතේ සාංකාව අඩුවුනේ නෑ. මම අත් දෙක බිම තියලා කඳේ උඩ කොටස උස්සලා ඉස්සරහ බැලුවා - කිසි අවහිරයක් නෑ. …. අර හිතේ සාංකාව නිසාද කොහෙද මම හෙමීන් පිටිපස්සට හැරෙන්න පටන්ගත්තා… එතකොට තමා මට චූ ගියේ….”

බංඩා බිම බලාගෙන කීප සැරයක් සීරුවෙන් හුස්ම ගත්තා. කවුරුත් කිසි දෙයක් කිව්වෙ නෑ - පැට්රොමැක්ස් ලාම්පුවේ සද්දේ විතරයි මුලු කඩේම. මේ එකාකාර සද්දේ විනාඩියකට වැඩිය එහෙමම තිබුනා. ඒකේ බධාවට ආවේ වාහනේක සද්දෙයි.

කරෙකක් කඩේ ඉස්සරහ නැවැත්තුවා.

“හා…. මේ ගාමිනී මහත්තයනේ”

කාරෙකේ ආපු මිනිහා ඔලුව එලියට දාලා බංඩට කතා කරා.

“ටොම්…. වරෙන් අපෙ ගෙදර යන්න!”

“හා මහත්තයා යං…. කඩෙන් මොකවත් ඕනැද?”

“නෑ බං වරෙන් - ගිහින් මොනවත් හදාගමු රෑට කන්න”

………………….

ගාමිනී බස්නායක බංඩට ආයෙ කතාකරේ කාරෙක කඩේ පහුකරගෙන ගියාට පස්සෙයි.

“උඹ පච හලනවද, කඩේට වෙලා?”

බංඩට හිනා ගියා.

“හොඳ වෙලාවට මහත්තයා ආවේ. නැත්තං අලි කෙලිය!”

“ඒ මොකද?”

“මම අර හොල්මන් කතාවක් බාගෙට කියලා හිටියේ. …. වැඩේ තියෙන්නේ හොල්මන මොන වගේදවත් ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියලාවත් එතකොට හිතලා තිබුනෙ නෑ - තවමත් දන්නෙ නෑ!”