ගලේ කෙටූ සටහන්
ගමේ ඉස්කෝලෙට යන කාලේ සුනිල් වැලිවල තමා මගෙ හොඳම යාලුවා. අපෙ ගෙදර තිබුනේ ඉස්කෝලෙට හැතැක්ම බාගයක් විතර ඈත. සුනිල්ලා හිටියේ ඉස්කෝලේ ලඟම. ඒ දවස්වල ඉස්කෝලේ ඇරිලා සුනිල්ලගෙ කඩේට ගිහින් රෝස්පාන් හරි බනිස් හරි කාලා තේ එකකුත් බීලයි මම පයින් ගෙදර එන්න පටන් ගත්තේ. මම කවදාවත් කාපු බීපු ඒවට සල්ලි ගෙව්වෙ නැතිඋනත් අපෙ තාත්තා සුනිල්ලගෙ තාත්තට වරින් වර සල්ලි දෙනවා සුනිල් දැකලා තියෙනවලු. අපෙ ආශ්රය අඩුවෙන්න පටන් ගත්තේ පහේ පංතියෙන් පස්සේ දෙන්නා නගරේ වෙන වෙන ඉස්කෝලවලට ගිය නිසයි. උදේ හවස සෙනග පිරුනු බස් එකේ මුනගැහුනත් ඉස්සර වගේ කතා බහ කරන්න වෙලාවක් අපිට ලැබුනෙ නෑ. ඒක වෙනස් උනේ මීටමාස කීපෙකට ඉස්සර දවසක් සුනිල් මට ගමේ යන්න කතා කරලයි.
පොඩිකාලේ අපේ තිබුන ලොකු විශ්වාසක් තමා අපෙ ගම්පැත්තේ මහ කැලයක් මැද තිබුන දේවාලේ. අපි අසා තිබුන හැටියට ඒ දේවාලේ ගමේ කවුරුත් දැකලා නෑ - ඒකේ කපුරාල වෙන්න ගමෙන් ගිය මිනිහා ආයෙ ආපහු ආවෙ නෑ. එක කපුරාල කෙනෙක් මැරුනාම, දෙයියෝ ගමේ කෙනෙකුට හීනෙන් කියනවලු ඊලඟ කපුරාල වෙන්න දවස් තුනක් ඇතුලත යන්න කියලා. සුනිලුයි මමයි මේ දේවාලේ ගැන නිතරම කතා කලා ඒ කාලේ. මීට මාස කීපේකට ඉස්සර සුනිල් මට ගමේ යන්න කතාකලේ මේ දේවාලේ කතාවේ ඇත්ත නැත්ත බලාගන්නයි.
සුනිල් පොලිසියේ නිලදාරියෙක් හැටියට ඒ දේවාලේ ගැන අළුත් විස්තර සොයාගෙන තිබුනා. මට හිතුනේ ඒවා මා සමග බෙදා හදා ගන්නයි ගමනට මට ආරාධනාකලේ කියලා. නමුත් සුනිල් මට ඒ ගමනෙදි පෙන්නුවේ කැලේ තිබුනේ දේවාලයක් වෙනුවට විශාල ගංජා හේනක්. එදා මට ඇහුන අළුත් තොරතුරු මගේ හිතෙන් ඉවත් කරන්න තවත් අමාරුඋනේ දේවාලයක් ගැන කතා පතුරවලා ගංජා හේන වවා තිබුනේ මගේ මාමා කෙනෙක් වීමයි.
ඒ ගමේ ගමනෙන් පස්සේ සුනිලුයි මායි අතර කැඩී තිබුන මිත්රකම නැවතත් අළුත් කරගන්න අපිට හැකි උනා. අපි මසකට වරක්වත් හමුවෙන්න තීරනේ කරගත්තේ මේ සැරේවත් මිත්රත්වය අහෝසි නොකර ඉන්න සිතාගෙනයි. ඊයේ හවස සුනිල් අපෙ ගෙදර ආවේ “මාසේ” හමුවීමටයි.
“මං එදා සරත් දැක්කා ටවුමේ”
“මල්ලී කිව්වා… බැංකුවට ආපු ගමන් …මාත් හම්බුවෙලා ආයෙ ගෙදර ගියේ”
“සරත්ට කඩේ වැඩේ අල්ලලා ගිහින් වගේ”
“ඔවු… අම්මට උදව්වට කියලා පටන්ගත්තට මං හිතන්නේ මිනිහට ඕක තමා කරන්න ඕන වෙලා තිබුනේ, ඒ දවස්වල ඉඳන්. කිව්වට මොකද මෑන් කඩේ හොඳටම දියුනු කරලා ගියා අවුරුද්දේ”
“ඒක හොඳයි… සරතුත් ගමෙන් ගියානම් අම්මට අමාරුයි තනියම කඩේ කරගන්න නේද?”
“… මල්ලිත් දැන් හොඳටම තැන්පත් වෙලා…. මේ සැරේ ප්රාදේශීය සභාවටත් ඉල්ලයි වගේ!”
“ශඃ! හොඳයි මොලේ තියෙන එකෙක් හරි ප්රාදේශීය සභාවට යන එක!”
සුනිලුයි මමයි අපෙ ගෙදර පිටිපස්සේ අඹගහ යට බංකුවේ වාඩිවෙලා හවස තේ බොනවා. අද රෑ සුනිල් අපෙ ගෙදර නවතින නිසා අපිට කතාකරන්න ඕනැ තරම් වෙලා තියෙනවා.
“දැන් රස්සාව එහෙම කොහොමද? ආයෙ ගංජා හේන් එහෙම හොයාගත්තෙ නැද්ද?”
“ආයෙ එහෙම එකක් හම්බවුනේ නෑ …… දැන් මම මිනිස්සුංගෙ වෙන හොර වැඩ ගැන හොයනවා! සමහරවිට මාර මොලේ තියෙන හොරු හම්බවෙනවා - ඒවගේ උං අල්ලන එක තමයි රස්සාවේ තියෙන එකම ජොලිය. හැබැයි හොරු සීයට අනූවක් ගොන්නු - මට උනත් අල්ලගන්න පුලුවන්!”
“හේ … උඹෙ දක්ශතාවේ හංගන්න ඕන නෑ. සරත් කිව්වේ උඹට මොනවද පදක්කමකුත් ලැබුනා කියලා!”
“මගෙ මල්ලී කයිවාරු ගහනවා වැඩී. අර ආංඩුවේ වැඩපොලකින් බඩු හොරකම් කරන එවුන් අල්ලන්න මම දාපු ප්ලෑන නිසා තමා ඔය පදක්කම ලැබුනේ. ඒක නෙවෙයි - කොහොමද ලකීගෙ අලුත් රස්සාව? යුනිවසිටි එකේ වැඩකරනවා කිව්වම තත්වේ නියමයිනේ!”
“තත්වේ? ලෙක්චරර් කෙනෙක් නම් ටිකක් හරි තත්වයක් තියෙයි - මම ලැබ් එකේ වැඩකරන එකෙක් නේ! ….. දැන් කරන ඩිග්රිය හොඳට කරගත්තොත් සමහරවිට ලෙක්චරර් කෙනෙක් වෙන්න බැරි නෑ හැබැයි”
“උඹ ලැබ් එකෙන් පිට යන්නෙම නැද්ද?”
“අපෝ…. හරියට ෆීල්ඩ් යනවා ලෙක්චරර්ලයි සීනියර් ස්ටුඩන්ට්ලයි එක්ක”
“ගිහින් ගල් සාම්පල් එහෙම එකතු කරනවා ඇති…”
“ඔවු - ඒවා ලැබ් එකට ගෙනත් එක එකාට ඕනෑ විදිහට ඇනෑලිසිස් කරන්නේ මම”
“කොහෙ කොහෙ එහෙමද ෆීල්ඩ්?”
“සුනිල්…සුනිල්….සුනිල්…. උඹ ඔහොම අහන්නේ හේතුවක් ඇතුව නේද? පොලිස් කාරයෝ මගෙන් ඔහොම ප්රශ්න අහනකොට ……..?”
“පොලිස්කාරයොත් මිනිස්සු ලකී - උමුත් ගැටළුවක් තියෙනකොට විස්වාස කරන්න පුළුවන් යාළුවෝ ලඟට තමා යන්නේ”
මට දුක හිතුනා. මොකද්දෝ ගැටළුවක් හිතේ තියෙන වෙලාවේ මම විහිළු කරනවා.
“උඹට මතකද දැන් දවස් කීපෙකට ඉස්සර මුතුරාජවෙල පැත්තේ ගිනිතියපු ලොරියක් හම්බවුනඑක?”
“හ්ම්… යන්තම් මතකයි - අර වටේට ගඩොල් තාප්පයක් දාලා තිබුන එකද?”
“ආන්න හරි. ගඩොල් නෙවෙයි - කබුක් ගල්. ඒ ලොරිය මගෙ වැයික්කියේ මුදලාලී කෙනෙකුගෙ නිසා මටයි ඒක ගැන පරීක්ෂා කරලා බලන්න බාර. මම ගියා මිනිහා හම්බුවෙන්න. එයා කියන විදිහට ලොරිය පාවිච්චිකලේ පානදුරේ කොම්පැනියක් - කබුක් ගල් අදින්න. ඒ කොම්පැනියේ මිනිස්සු කියන විදිහට ලොරියේ ඩ්රයිවරුයි අත්වැඩකාරයයි තේ එකක් බොන්න කඩවත නැවැත්තුවට පස්සේ කවුදෝ ඒක ස්ටාට් කරගන ගිහින්. කඩවත පොලිසියට කට උත්තර දීලා දෙන්නා පානදුරේ ගිහින් පහුවදා උදේ කොම්පැනියට කියලා තියෙන්නේ …. කබුක් ලෝඩ් එක කෑගල්ලට යන්න තිබුනේ. මේ එකක්වත් ඇත්තද බොරුද, වැදගත්ද නැද්ද කියලා මම දන්නෙ නෑ”
“හැබැයි සුනිල්ගෙ හිතට හරි නෑ …. නේද?”
“හ්ම්…. ඔවු…. ටිකක්… එක ප්රශ්නයක්, ලොරිය මුතුර්රාජවෙල පැත්තේ යන්න කිසිම හේතුවක් නෑ එදා. ඒ කියන්නේ කවුරුහරි ලොරිය හොරකම් කරපු කතාව ඇත්ත වෙන්න ඇති, තේ බොන්න නවත්තපු වෙලාවත්, පොලිසියේ එන්ට්රි දාපු වෙලාවත් බැලුවොත් …. අනික… කබුක් ගල් හොරකම් කරන්න තරම් වටිනා දෙයක් නෙවෙයි. නමුත් කවුරුහරි කබුක් ගල් සේරම බිමට ඇදලා දාලා තිබුනා, හරියට හංගලා තිබුන දෙයක් සොයන්න වගේ…. ඒකට සෑහෙන වෙලාවක් යන්න ඇති; නැත්නම් කීපදෙනෙක් ඉන්න ඇති ගල් ඇදලා දාන්න…. තවත් එකක් - ඇයි ලොරියට ගිනි තිබ්බේ?...... මට තියෙන්නේ ප්රශන විතරයි ලකී - උත්තර බොහොම අඩුයි!”
“නිකම්ම මුදලාලිට හරි පානදුරේ කොම්පැනියට හරි තරහක් තියෙන කෙනෙක් කරාද දන්නෙ නෑ. වාහනයක් හොරෙන් ඇරගෙන ගිහින් ගිනිතියන්නේ එහෙම කෙනෙක් වෙන්න බැරිද? සුනිල් හිතලා බැලුවද ඇයි ලෝඩ් එක නිකම්ම පාර පුරා නැත්නම් පාර අයිනේ නොදා ලොරිය වටේ අඩුක්කලේ? ඒක කාට හරි දෙන පනිවිඩයක් වගේ කියලා මට හිතෙන්නේ”
“ඒක ගැන මමත් හිතුවා ලකී … හංගලා තිබුන දේ හුඟක් ලොකුයිනම්, මං කියන්නේ පෙට්ටගමක් වගේ දෙයක් - මිනී පෙට්ටියක් වෙන්නත් පුලුවන් - ගල් කීපයක් එකසැරේට උනත් එලියට විසිකරන්න විතරයි ඕන. නමුත් සොයන දේ ඒ ගඩොල් වගේ කපලා තියෙන ගලක සයිස් නම් එක එක එලියට විසිකරන්න පුලුවන්. හැම ගලම වෙන වෙනම පරීක්ෂා කරන්න ඕන කෙනෙක් විතරයි තාප්ප බඳින්නේ! එතකොට ඕන නම් ආයෙත් සැරයක් කොනක් ඉඳන් ගල් ටික පරීක්ෂා කරන්න පුළුවන්… අනික් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ කරපු එවුන්ට පිස්සු!”
“ඔය සේරම කරන්න සෑහෙන්න වෙලාවක් යන්න ඇතිනේ? කවුරුවත් මේක දැකපු කෙනෙක් නැද්ද?”
“පාන්දර දෙකට විතර වැඩේ කෙරුනා කියලා අපි හිතන්නේ - දකපු කෙනෙක් තියා සද්දයක් ඇහුන කෙනෙක්වත් තවම සොයාගන්න බෑ”
අපි දෙන්නම සද්ද නැතුව මේ ගැන කල්පනා කලා - සුනිල් බලන්නේ වරදක් කරපු කෙනෙක් සොයාගන්න - මම හිතුවේ මිනිහා වරද කලේ මොන හේතුවකටද, කලේ කොහොමද කියල දෙපැත්ත ගැනයි.
“ලකී දන්නවද කබුක් ගල්වල වටිනා ඛණිජ හරි මැණික්ගල් වගේ මොනවත් තියෙනවද?”
“අපෝ නෑ! සමහරවිට යකඩ, ඇලුමිනියම් වගේ ලෝහ පොඩ්ඩක් තිබුනට ඒ අතින් කිසි වටිනාකමක් නෑ. එකම වටිනාකම බිල්ඩිමක්, පාරක් වගේ දෙයක් හදන්න විතරයි!”
“යමක් හොරකම් කරානම් ඒක ගල් අතරේ හංගලා තිබුන දෙයක් කියලා ලකී පිලිගන්නවද?”
“වෙන්න පුළුවන්…. කාට හරි තරහට ලොරිය පුච්චන්න කරපු දෙයක් නෙවෙයිනම්. අනික, ඇයි කබුක් ගල් මහන්සිවෙලා බිත්තියක් වගේ අඩුක් කරන්නේ - නිකම්ම වෙලට විසි කරන්නෙ නැතුව?”
“ඇත්ත…. අපිට ලොරිය හොරකම්කලේ කවුද? කී දෙනෙක් සම්බන්දද? ලොරියෙන් මොනවත් හොරකම් කරාද? ලොරියට ගිනි තියලා මිනිස්සු ගියේ මොන වාහනේකද? මේ කිසි දේකට උත්තර නෑ…. තියෙන එකම දේ කබුක් ගල් වැටියක් විතරයි! දෙපාර්තමේන්තුවේ අනික් අය මේවා ගැන හොයනකම් මම හිතුවා කබුක් ගල් වලින් යමක් දැනගන්න පුළුවන්ද කියලා…. ඒකයි උඹෙ රස්සාව ගැන ඇහුවේ. උඹ කියනවානම් ඒ ගල් වල වටිනා දෙයක් නෑ කියලා…. ඒ පැත්තෙමුත් සුගතියක් නෑ වගේ….”
මම කල්පනා කරා කබුක් ගල් වල තියෙන විශේෂය ගැන.
“ඒ කබුක් හාරන ගල්වල දන්නවද?”
“හොයාගන්න පුළුවන්”
“එතකොට ගැනුම්කාරයා?”
“ඒත් ලේසියෙන් සොයාගන්න පුළුවන්”
“සුනිල් කෝල් දීලා ඒ ඩීටේල්ස් හොයන්න කියලා ඔයාගෙ පොරවල් වලට කියන්න - එතකොට මට ආපු අදහස කියන්නම්. වැඩිය යමක් බලාපොරොත්තු වෙන්න එපා හැබැයි.
සුනිල්ට නිදහසේ කන්තෝරුවේ අයට කතා කරන්න දීලා මම තේ දෙකක් සදාගෙන එන්න ගෙට ගියා. ආපහු අඹ ගහ යට වාඩිවෙලා කතා කරනවට වැඩිය ඉස්තෝපුවේ සැප පහසු ඇතුව වාඩිවෙන එක හොඳයි කියලා මට හිතුනා. තේ කෝප්ප දෙකත් එක්ක බිස්කට් කීපෙකුයි කෙසෙල් ගෙඩි ඇවරියකුයි ඉස්තෝප්පුවේ තියලා මම සුනිල්ට කතා කරා.
“සුනිල් දන්නවද කබුක් ගල් ගැන? ඒවා ගඩොල් වගේ කපලා ගන්න හැටි?”
“මම පොලිස් කාරයෙක් - ඔය වගේ දේ මම දන්නෙ නෑ”
“පොලවේ ජල මට්ටමට, ඒ කියන්නේ වෝටර් ටේබල් එකට, යටින් තියෙන කබුක් හොඳටම මොළොක් - පිහියකින් කපන්න පුළුවන් තරමට. නමුත් කපලා ජල මට්ටමෙන් උඩට ගෙනාවම ඔක්සිකරණයෙන් රසායනික වෙනස්කම් වෙනවා සැහෙන්න ඉක්මනට. ඒ වෙනස්කම් නිසා කබුක් ගල හොඳටම හයිය වෙනවා. එහෙම වේලලා තමා ඒවා වැඩට ගන්නේ”
“ලකී මට නම් තේරෙන්නෙ නෑ ඒකේ වැදගත්කම…. දැන් තියෙන ප්රශ්නෙට…”
“හිතලා බලන්න මොළොක් කබුක් කුට්ටියක කුහරයක් හාරලා මොනවත් ඒකේ හංගලා, ආයෙත් කුහරය තෙත කබුක් පස් වලින් වලහලා දාලා කුට්ටිය වේලුවොත්…. පිටට පෙනෙන්නේ සාමාන්ය කබුක් නමුත් ඇතුලේ………….?”
“ලකී හිතන්නේ එහෙම දෙයක් වෙනවානම්, ගල්වලේ වැඩකරන අයයි ඒ ගල් ගැනුම්කාරයයි දන්නවා වැඩේ …. ලොරිය හොරකම් කරපු මිනිස්සු කොහෙන් හරි හොරේ අල්ලාගෙන….”
ඊලඟ විනාඩි පහේ සුනිල් දිගටම කතා කලත් ඒ මාත් එක්ක නෙවෙයි - තනියම කතා කරලා සිතිවිලි සංවිධාන කරනවා වගේ.
“…. එහෙම බැලුවොත් මොනවද ප්රවාහන කරන්න පුළුවන් ගල් ඇතුලේ?... වටිනාකමෙන් වැඩි, පරිමාවෙන් අඩු දෙයක්…. මැනික්? රත්තරන්…. නමුත් මේ වගෙ දේ ත්රී වීලර් එක්කත් අරගෙන යන්න පුළුවන්…. ප්රවාහනය නීති විරෝදී දෙයක් …. හෙරොයින් කුඩු … …? එහෙම නම් කබුක් කොරිය වැඩකරන අයට සම්බංද කුඩු ගෙන්වන්නෝ ඇති… හොයලා බලන්න ඕන දේ …. මත්ද්රව්ය අංශයේ කවුද ඉන්නේ?... ලොරිය හොරකම් කරපු මිනිස්සුන්ට බඩු හම්බවුනාද? ටිකක් වත් මිස් වෙන්න ඇතිද?....
මම හෙමින් ඉස්තෝප්පුවෙන් එලියට බැස්සේ සුනිල්ට මා ඉන්න බවත් අමතක වගේ පෙනුන නිසායි.
…………………….
මත් ද්රව්ය සම්බන්ද පොලිස් විමසීම් වලට සිවිල් ජනයා සහබාගී කරගැනීම භයානක වියහැකි බව මට සුනිල් මීට පෙරත් කියා තුබුනා. ඒ නිසා වෙන්න ඇති මාස් පතා මට සුනිල් මුනගැසුනත් අපි කබුක් ගැන හෝ ගිනිගත් ලොරියක් ගැන වචනයක්වත් කතා නොකලේ. සුනිල් වැලිවලට උසස්වීමක් ලැබුන බවත් පුවත්පත් මාර්ගෙන් මම දැනගත්තේ මත්ද්රව්ය ජාවාරමේ නියුතු අට දෙනෙක් දීර්ග කාල බන්ධනාගාර ගතකල බව කියවා මාස හයකට පමන පසුවයි.