පාරේ පිලිතුරු

පාරේ පිලිතුරු

මහනුවරින් කොළඹට ටිකට් අරගෙන කඩුගන්නවෙන් බස් එකෙන් බහින්නේ එක්කෝ මෝඩයෙක් එහෙම නැත්නම් පිස්සෙක් කියලා තිස්සට හිතුනා. ලොකුසීයා බස් එකේ සීනුව ගැහුවේ කඩුගන්නාවේ නගරය පහුවෙලා ටික දුරක් ආවයින් පසුයි. වචනයකින් බැල්මකින් වත් කිසිම සලකුණක් නොපෙන්වා හදිස්සියෙම ලොකුසීයා ගත්ත තීරනේ ගැන තිස්සට පුදුමයක් වගේම තරහකුත් ඇතිවුනා. තිස්ස කොළඹ යන්න හිටියේ බොහෝම අශාවෙන්. ලොකුසීයගෙ වියදමෙන් ගිහින් යාලුවෝ එහෙමත් මුනගැහිලා දෙසැම්බර් නිවාඩුවෙන් සතියක් දෙකක් එහෙ මෙහෙ ඇවිදලා, අලුත් චිත්රපටියක් දෙකකුත් බලලා එන්නයි තිස්ස බලාපොරොත්තු වුනේ.

“ඇයි අපි මෙහෙන් බහින්නේ?”

දෙන්නගෙම මලු උස්සාගෙන තිස්ස බිමට බැහැලා ලොකුසීයටහ් බහින්න උදව් කරනතුරු උන්දෑ කතාකලේ නෑ.

“ඇයි සීයා ටොයිලට් එකක් හොයාගන්න ඕනැද?”

ලොකු සීයට වයස හැත්තෑ ගානක්. ඔය වයසට නිතරම වැසිකිලි ඕනෑ බව තිස්ස දන්නවා.

“ඔය මගෙ බෑග් මල්ල දීපන්”

සීයගෙ මල්ල පිටේ එල්ලගන්න පටි දාපු බැක්පැක් එකක්. ඒක කරේ දාගෙන කලිසමේ පස්සා සාක්කුවෙන් රෙදි තොප්පියක් ඇදල ඇරගෙන ඔලුවේ දාගෙනයි ආයෙ සීයා තිස්ස දිහා බැලුවේ.

“දැන් තමයි ගමන පටන් ගන්නේ… ගනින් උඹෙ මල්ලත් කරට”

සීයා තිස්ස දිහා කෙලින්ම බලලා කට පුරා හිනා උනේ සුදු රැවුල අත ගගා.

“දැන් යමං කොළඹ… ඉස්සර කාලේ මිනිස්සු ගිය විදිහට…පයින්!”

……………………….

තිස්සට මතක් උනේ ලොකුසීයත් එක්ක මේ ගමන යන්න යෙදුන හැටියි.

වයස විසි තුනේදී ගුරු පත්වීමක් ලැබීම ගැන තිස්ස සන්තෝස වුනා, විශේෂයෙන්ම මාසෙකට සැරයක් අතට සල්ලි ටිකක් ලැබීම නිසා. එසේවුවත් විශ්වවිද්යාලේ විද්යාව උගත් තිස්සට ගුරු වෘතිය ඇල්ලුවේ නෑ. රසායන විද්යාව ගැන කිසිම උද්යෝගයක් නැති පංතියකට පරමාණුක ව්යුහය ඉගැන්වීම ඉබ්බන්ට ඉගිලෙන්න උගැන්වීම වගේ වුනා. තමා ඉගෙනගන්න කාලේ තදින්ම සිත්ගත් විද්යාවයි තාක්ශනයයි ගැන මේ සිසුන්ට කිසිම අශාවක් නොතිබීම ගැන තිස්සට දැනුනේ කනගාටුවට වැඩිය තරහක්. ඔවුන්ට විද්යාව ඉගැන්වීම ඔවුන්ගේ ආගම වෙනස් කිරීමට තැත් කිරීමකට සමාන ලෙසයි තිස්ස දුටුවේ. මේකේ වැරැද්ද පෙර වසරවල ගුරුවරුන් පිලිගතයුතු බව ගුරු කාමරේ කතාවලින්ම පැහැදිලිලෙස පෙනුනා.

“මුන්ට සයන්ස් බෑ - උගන්නලා වැඩකුත් නෑ!” ජ්යෙෂ්ඨ ගුරුවරයෙකුගේ මේ කතාව ඇහිලා තිස්ස බොහොම අමාරුවෙනුයි කිසි දෙයක් නොකියා හිටියේ. නමුත් තිස්ස කොතරම් උත්සාහ කලත් තම සිසුන්ගේ විද්යා ඇල්ම දියුනු කිරීමට රස්සාව පටන්ගෙන අවුරුද්දකිනුත් බැරිඋනා.

වැරැද්ද වෙන කෙනෙකු පිටට දාලා තමාගේ වගකීමෙන් ගැලවෙන්න බොහොම අය කැමතියි. මමත් ඒ වගේ නේද කියලා තිස්සට හිතුනේ සෙනසුරාදා උදේ අම්මා කෑගැසූ හැටි මතක්වෙලයි.

“උඹත් උඹෙ සීයා වගේද හැදෙන්න යන්නේ?”

අම්මගෙ කට හඬට තිස්සගේ ඇස් නොහිතම ඇරුනා.

සීයා මතක් කරන්නේ අම්මට හොඳටම තරහ ගිය වෙලාවක විතරක් බව දන්න නිසා තිස්ස හිතලා බැලුවා තමා අංතිමට කරපු ලොකු වැරැද්ද මොකද්ද කියලා. ගෙදර එන්න ටිකක් වෙලා ගිය එක ඇත්ත; කොච්චර සද්ද නැතුව පාන්දර තුන හමාරට කාමරේට රිංගන්න උත්සාහ කලත් අම්මට ඇහෙනවා. කරුවලේ පුටුවකට පයින් ගහපු එක මොලේ ඇති එකෙක් කරන දෙයක් නෙවෙයි කියලා තිස්සටමත් තේරෙනවා. අනික් අතට වයස විසි හතරක් වෙලත් අම්මා කැමති නෑ කියලා වාරේ අන්තිම සිකුරාදා රෑවත් එහෙම කරන්න බැරි නම් මොකද්ද මේ ජීවිතේ ඇති වටිනාකම? තිස්ස බිත්තිය පැත්තට හැරිලා ඇස් වහගත්තා.

“දවල් වෙනකං නිදාගන්නේ රෑ කොහෙ කොහෙ ගිහිල්ලද? උඹ දැන් ඉස්කෝල ගුරුවරයෙක් කියලා අමතකද? උඹෙ රස්සවට ඔබිනවද ඔය එක එකාගෙ ගෙදර ගිහින් වැනි වැනී එන විදිහ?”

අම්මගෙ ලතෝනියට තාත්තගෙ කටහඬ එකතුවෙන්නේ බොහොම හෙමින්.

“දැන් මොකවත් කියලා වැඩක් නෑ සීලා… කතා කරන්න තියෙන්නේ හොඳ සිහියෙන් ඉන්න වෙලාවක…”

“මං විතරක් කියලා හරියයිද? ඔහෙලගෙ තාත්තා වගේ තමයි හැදෙන්නේ!” තරහෙන් කිව්වට සීලගෙ කට සද්දේ දැන් අඩුයි.

“අපෙ තාත්තා පිස්සු නටපු එක ඇත්ත. දැනුත් පිස්සා වගේ රස්තියාදු ගහන එකත් ඇත්ත. හැබැයි අපෙ එකා ඒ වගේ හැදෙනවා කියන එක හොඳ මදි නේද? තවම රස්සාව හම්බවෙලා අවුරුද්දයි…. ටිකක් කල් දීලා බලමු සීලෝ…”

“ඔහෙත් කතා කරලා බැලුවොත් හොඳයි… මං කියන දෙයක් කනේ ගෑවෙන්නෙත් නෑ!”

සීලා තිස්සට බනින්න පටන්ගත්තේ මෑතකදී. මහින්ද අයියා ගෙදර ඉන්න දවස්වල එයා තමා නිතරම බැනුම් ඇහුවේ. කාගෙ හරි වැරදි හොයන එක අම්මගෙ හැටියක් බව තිස්ස දන්නවා. නමුත් බැනුම් තමා වෙත එල්ල වෙන්න පටන්ගත්තැන් පස්සෙයි තිස්සට මහින්ද අයියා ගැන දුකක් හිතුනේ. සමහරවිට අයියා මාරුවක් ඉල්ලාගෙන ගෙදරින් ගියෙත් බැනුම් නිසා වෙන්න ඇති කියලා තිස්සට හිතුනා.

ඉස්කෝලෙයි ගෙදරයි දෙකේම අසහනය නිසාමයි තිස්ස පෙරේදා, ඉස්කෝලේ දෙසැම්බර් නිවාඩු පටන්ගත්ත දවසේ, පරන යාළුවෝ කීප දෙනෙක් එක්ක බීර වීදුරුවක් බොන්න ගියේ. අංතිමට එක බීර වීදුරුව දෙකක් උනා, පස්සේ ඒකට අරක්කුත් එකතු උනා. පස්සේ ගොඩ්වින්ලගෙ ගෙදර ගිහින් සිංදු කියනවා යන්තම් මතකයි. එහෙදී තමා ප්රේමසිරි කිව්වේ “උඹට ඔය ගුරුවර රස්සාව හරි නෑ බං - වෙන මොකවත් කරන්න බලපං - උඹෙ පිස්සු සීයගෙන් අහපං මං බොරුද කියන්නේ කියලා” කියලා. ප්රේමසිරි නැවතිලා හිටියේ ලොකුසීයගෙ ගෙදර කොටසක. සමහරවිට ලොකු සීයත් එක්ක ප්රේමසිරි මා ගැන කතා කරලත් ඇති කියලා තිස්සට හිතුනා.

අම්මගෙන් ඊයෙ උදේ පාන්දර ලැබුනු ප්රහාරයත් සිකුරාදා රෑ ප්රේමසිරිගෙ කතාවත් නිසා තමා ඊයේ හවසම තිස්ස ලොකුසීයා හමුවෙන්න ගියේ.

…………………….

“පයින්? කොළඹ? කිලෝ මීටර් සීයකටත් වැඩිය පයින් යන්නෙ කොහොමද?”

ලොකුසීයා පාරේ දකුනු පැත්තට පැනලා ඉස්සරහ බලාගෙන ඇවිදිනවා. තිස්ස තමා පස්සේ එනවද නැද්ද කියලත් බැලුවෙ නෑ. ලොකුසීයා කතාවක් නැත්තේ තමා හරි ප්රශ්නේ අහපු නැතිනිසා කියලා තිස්සට හිතුනා. උන්දැගෙන් නිතරම කියවෙන දෙයක් තමා ‘යමක් දැනගන්න ඕනනම් හරි ප්රශ්නේ අහන්න ඕන’.

“ලොකුසීයා …. ඇයි අපි පයින් කොළඹ යන්නේ? …. දවස් කීයක් …” තිස්ස හිතට ආපු දෙවෙනි ප්රශ්නේ සම්පූර්නකලේ නෑ, පලවෙනි ප්රශ්නේ වඩා වැදගත් කියලා හිතුන නිසා.

“මට ඒකාලේ ඉඳන් ආසාවක් තිබුනා මේක කරන්න. මගෙ වයසේ හැටියට තවත් කල් දැම්මොත් කරගන්න බැරිවෙයි කියලා හිතුනා”

උත්තරේ බාගෙට හරි නමුත් වැදගත් කොටසක් අඩුයි.

“ඒ ලොකුසීයා යන හේතුව - ඒක මට තේරෙනවා. හැබැයි ඇයි මම?”

“ඒක මං කොහොමද දන්නේ? උඹ පයින් යන්නේ ඇයි කියලා මමද දන්නෙ?”

ලොකුසීයා හිනාවෙනවා. හැබැයි ගමනේ වේගේ අඩු නෑ. හොඳට ඇවිදලා පුරුදුයි වගේ. තිස්සත් සීයගෙ පියවර අනුගමනය කරන්න බැලුවා, ඒ තාලෙටම අඩිය තියලා. ඇවිදින ගමන් තිස්ස හිතලා බැලුවා ඇයි තමා පයින් කොළඹ යන්නේ කියලා.

ඊයේ හවසත් ලොකු සීයා මේ වගේ ප්රශ්නයක් ඇහුවා.

“හිතලා බැලුවද ‘ඇයි’ කියන වචනේ පාවිච්චි කරන්න? මම කියන්නේ, ‘ඇයි ගුරුවරයෙක් වෙන්න ඕන?’, ‘ඇයි ගෙදරම නවතින්න ඕන?’, ඇයි මේ ඉස්කෝලෙම/ටවුමෙම වැඩ කරන්න ඕන?’ – ප්රශ්න ගොඩාක් තියෙනවා තිස්සම උත්තර සොයාගන්න ඕන… නේද?”

තිස්ස අද උදේ හතට නුවරින් බස් එකට නගිනකොටත් හිතුවේ ලොකුසීයත් එක්ක කොළඹ ගිහින්, ඊලඟ සති දෙකේ මේ ප්රශ්න වලට උත්තර සොයාගන්නයි. නමුත් දැන් සති දෙකම පාරේ ඉන්නවෙයි - උත්තර සොයාගන්න වෙන්නේ පාරෙදිමයි, ඊට ඉස්සර බස් එකකටවත් යටවුනේ නැත්තම්.

……………………….

උදේ දහය වෙනකොට තිස්ස ලොකුසීයත් එක්ක මාවනැල්ලට කිට්ටු වෙලා. නොනැවතී පැය දෙක හමාරකින් කිලෝ මීටර් දොලහක් විතර පයින් ආවට මුලු ගමනෙදිම ලොකුසීයා වචනයක්වත් කතාකලේ නෑ. කීප සැරයක් තේ එකක් බොන්න නවතින්න හිතුනත් තිස්ස කල්පනාකලේ ලොකු සීයට සද්ද නැතුව ඇවිදින්න පුලුවන්නම් මටත් පුලුවන් කියලයි. වයසක මනුස්සයෙකුටත් වැඩිය මහන්සියි කියන එක ලජ්ජාවක්. හොඳ වෙලාවට කඳු නගින්න නොතිබුනේ.

තිස්සගෙ කකුල් ලොකුසීයගෙ කකුල් තාලෙටම ඇදුනත් හිත නම් ගියේ වෙනම පාරක. හිතට ආ පලවෙනි ප්රශ්නය - ඇයි ලොකුසීයා මට කිව්වේ ‘පයින් යන්නේ ඇයි කියලා මමම සොයාගන්න ඕන’ කියලා’? මට සීයා නේද කතාකලේ කොළඹ යන්න, ඉස්කෝලේ නිවාඩු නිසා? ඒ වෙලාවේ පයින් යන කතාවක් ආවෙ නෑ - තිස්ස හිතුවේ කෝච්චියේ හරි ඉන්ටසිටි බස් එකක හරි යයි කියලා.

අනික් අතට හිතනකොට, තිස්සමයි තීරනයකලේ ලොකුසීයත් එක්ක කොළඹ යන්න. ඕන නම් කිසි කරදරයක් නැතුව ‘යන්න බෑ’ කියන්න තිබුනා. එහෙම කිව්වත් ලොකුසීයා තරහ වෙන්නෙ නෑ. උන්දෑ කවදාවත් තරහෙන් හිටි වෙලාවක් තිස්සට මතක නෑ. තිස්සට ඕනවුනේ ගෙදරින් පිටත්වෙලා සතියක් විතර ඉන්නයි - නිවාඩු කියන්නේ ඒක නේද? හැබැයි සතියක් විතර දාඩිය දාගෙන, දූවිලියි, බසුයි ලොරියි එලියටදාන දුමයි බිබී පයින් යන එකත් නිවාඩුවක්ද? අනික කන්නේ කොහෙන්ද,නිදාගන්නේ කොහෙද, ඇඟ සෝදාගන්න වතුරයි අනික් අව්ශ්යතාවලට වැසිකිලියි තියෙනවද? මේ කිසිම දෙයක් හිතලා නෙවෙයි තිස්ස කඩුගන්නාවෙදි ලොකුසීයා පස්සේ ඇවිදින්න පටන් ගත්තේ. මේක වික්රමයක්ද? දුෂ්කර හෝ නිර්බීත ක්රියාවක්ද? නැත්නම් කෙලින්ම මාර ගොං කමක්ද?

පැයකින් විතර ගනේතැන්න හංදිය කිට්ටුවට එනකොට, මේවට උත්තර ටිකක් හිතට ආවා. ගමනේ පරමාර්තය ගැනත් ටිකක් හිත යොමුකලා.

ඇත්ත - පයින් කොළඹ යන එක ගොං කමක්. හැබැයි ගමනේ පරමාර්තය කොළඹ දවස් කීපයක් ගතකරන එක පමනක්ම නම් විතරයි ඒක ගොං කමක් වෙන්නේ; නුවර - කොළඹ ගමන සම්පූර්නෙන්ම අමතක කරලා. යාලුවෝ කීප දෙනෙක් හමුවීමත්, චිත්රපටි කීපයක් නැරඹීමත් ඇරුනකොට වෙන කොළඹදී කරන කිසි දෙයක් ගැන තිස්ස හිතලා තිබුනෙ නෑ. මේවා නම් නුවරදිත් කරන්න තිබුනා - කොළඹ යන්න ඕන නෑ.

ගමනේ පරමාර්තය ගෙදරින් පිට දවස් කීපයක් ඉඳීම නම් ඒක තනියමත් කරන්න තිබුනා - කොළඹ හරි වෙන පලාතකට හරි ගිහින්. නමුත් තිස්සට ඒ වෙලාවේ වැටහුනා ගමනේ වැදගත් කොටසක් වුනේ ලොකුසීයත් එක්කම ගමන යෑම බව. මේ අදහස යටිහිතේ තියෙන්න ඇති ගමනට එකඟ වෙනකොට - ඒකයි ප්රශ්නයක් නැතුව ලොකුසීයා පස්සේ වැටුනේ බස් එකෙන් බැහැපු වෙලාවේ. තිස්සත් ‘ලොකුසීයා වගේ හැදෙයි’ කියලා අම්මා කියපු චෝදනාවැකිය මේ අදහස තව තහවුරු කලා.

“මම පයින් කොළඹ යන්නේ ලොකුසීයත් එක්ක ගමනක් යන්න ඕන නිසා” තිස්සට හිතුනා. ඒක තමයි උත්තරේ සීයගෙ “ඒක මං කොහොමද දන්නේ? උඹ පයින් යන්නේ ඇයි කියලා මමද දන්නෙ?” ප්රශ්නෙට.

මාවනැල්ල කිට්ටුවෙනකොට තිස්ස ලොකුසීයගෙ ඊයෙ රෑ “ඇයි” ප්රශ්න ගැනත් හිතුවා.

ඇයි ගුරුවරයෙක් වෙන්න ඕන?’, ‘ඇයි ගෙදරම නවතින්න ඕන?’, ඇයි මේ ඉස්කෝලෙම/ටවුමෙම වැඩ කරන්න ඕන?’

ඊයෙ රෑ නොහිතපු විදිහට තිස්ස මේ ප්රශ්නත් පරීක්ෂාකර බැලුවා. තිස්ස ගුරුවෘතියට බැඳුන හේතුව පැහැදිලියි - විද්යා උපාදියෙන් පස්සේ ගුරු පත්වීම නියතයි. වෙන රස්සා සොයන්න කොපමන මහන්සි වෙන්න ඕනද? ගුරුවරු හැටියට වැඩ පටන්ගත්ත උපාදිධාරියෝ බොහොම දෙනෙක් පස්සේ වෙන රස්සා වලට යන බව තිස්ස දන්නවා. නමුත් ටිකක් කල් ‘ලේසි’ රස්සාවක් කරන එකේ වැරැද්දක් තිස්ස දැක්කෙ නෑ. ඉස්කෝලේ යන කාලේ නම් තිස්ස බලාගෙන හිටියේ ඉන්ජිනේරුවෙක් වෙන්න. නමුත් විද්යා උපාදිය ලැබුවේ ඉන්ජිනේරු පීඨයට ඇතුල්වෙන්න තරම් උසස් පෙල ප්රතිපල හොඳ මදි වීම නිසයි. යම් කිසි විදිහකට ඉන්ජිනේරු අංශයට කිට්ටු රස්සාවක්සොයා ගත්තොත් ගුරු වෘතිය අතහරින එක තිස්සට අමාරු වෙන්නෙ නෑ. වෙන රස්සාවක් සොයන එක ගැන හිතලා බලන්න තිස්ස aධිෂ්ඨාන කරගත්තා.

‘ගෙදර ඉන්න ඕනද?’, ‘නුවරම ඉන්න ඕනද?’ ලොකුසීයගෙ මේ ප්රශ්නවලට උත්තර රස්සාවේ ප්රශ්නෙට ලැබෙන උත්තරේට කිට්ටුවෙන් සම්බංදයි. ගෙදරම/නුවරම ඉඳීම තිස්සගෙ හිතේ වැදගත් තැනක් ගත්තෙ නෑ.

මේවා ගැන ලොකුසීයත් එක්ක සාකච්චා කරන්න වටිනවා කියලයි තිස්සට හිතෙන්නේ. ලොකුසීයට ඉස්සර මේවා අම්ම තාත්තා එක්ක සාකච්චා කරන්න ඕන නේද කියලා ඒ එක්කම හිතට ආවා. අම්මා බනී - තියෙන රස්සාව අතෑරලා ගෙදරිනුත් යන එකට. “මොන නන්නත්තාරේ යයිද? මොන මරිකමක් කරගනීද?” අම්මගෙ වචන තිස්සට හිතාගන්න පුලුවන්. තාත්තා පඩිය ගැනයි උසස්වීම් ගැනයි කතා කරයි. ලොකුසීයා මොනවා කියයිද?

“දැන් නම් කිඹුලා බනිස් එකක් කාලා ප්ලේන්ටියක් බොන්න ඕන!”

ලොකුසීයා නැවතුනේ හෝටලයි ඉස්සරහ. බොහොම වෙලාවකට පස්සේ ලුකුසීයා තිස්ස දිහා බලලා හිනාවුනා.

“මහන්සිද?”

“නෑ… හැබැයි තේ එකක් නම් බිව්ව හැකි”

තිස්ස කැමතිවුනේ නෑ තමාගේ මහන්සියවත් බඩගින්නවත් පිලිගන්න. නමුත් බනිස් දෙකකුයි තේ කෝප දෙකකුයි ඉවර කරා වැඩි කතාවක් නැතුව.

“ලොකුසීයා… මං ප්රශ්නයක් අහන්නද?”

“ඔය දැන් අහපු එක ඇරුනකොටද?”

“ඈ?”

“ඔය එක ප්රශ්නයක් ඇහුවේ? නෑ… නෑ… මොකද්ද අහන්න ඕන?”

“මම වෙන රස්සාවකට ඉල්ලුම් පත්තර දානවානම් …. නෑ මට වෙන රස්සාවක් ලැබුනොත් … පිට පලාතක… මම අම්ම තාත්තගෙන් අහන්න ඕනැද ඒක ගන්නද නැද්ද කියලා?”

“අහන්න? ඇයි? අහන්න ඕන නැ නමුත් කියන්න ඕන ගන්නවද නැද්ද කියලා. උඹෙ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඕන උඹමයි. ඕන තීරණයක් ගන්න ඉස්සර ‘ඇයි’ කියන ප්රශ්නෙට සම්පූර්නෙන් උත්තර දෙන්න පුලුවන් උඹටම විතරයි”

ලොකුසීයා තිස්ස දිහා කෙලින්ම බලාගෙන හිටියා නොහෙල්ලී, කැමරාවක් වගේ.

“දෙමව්පියෝ උඹ හදා වඩා ගත්තේ බොහොම බලාපොරොත්තු ඇතුව. අයියා වගේ නෙවෙයි උඹ උපාදියකුත් ලබාගත්තම බලාපොරොත්තු තවත් වැඩිවෙන්න ඇති …. මං දන්නවා උඹ අම්මගෙන් බැනුම් අහනවා කියලා. වෙන එකක් තියා සීලට මාව පෙන්නන්න බැරි බව මම දන්නවා, මාමා වෙලත්! නමුත් උඹ කරපු හොඳ දේකට කවදාවත් බැන්නද? බැනුමක් කියන්නේ හිතේ අමාරුව අඩුකරගන්න වෙන කිසි දෙයක් කරන්න බැරි වෙලාවේ නැගෙන සද්දයක්! ටිකක් හිතලා බලන්න වටිනවා ‘ඇයි’ කියලා, ස්ථාවරයක් ගන්න ඉස්සර”

තිස්සට කියන්න දෙයක් නෑ. ලොකුසීයා කියනදේ ඇත්ත වගේ පෙනෙන්නේ. කවුරුත් පිස්සා කියලා කිව්වට ලොකුසීයට ඇති පිස්සුවක් නෑ. හැම දේම තර්කානුකූලව හිතන එකයි තියෙන එකම පිස්සුව. තමංගේ ප්රශ්නවලට තවම උත්තර ලැබුනෙ නැතත් උත්තර සොයාගන්න ක්රමය තමා අතේ කියලා තිස්සට හිතුනා.

“මට හිතෙන්නේ තිස්ස ගෙදරට කියලවත් නෙවෙයි මේ ගමන පිටත්වුනේ…. හරිද? මං හිතුවා! දැන්මම ගෙදරට කෝල් එකක් දීලා කියන්න කොළඹ යනවා කියලා සතියකට දෙකකට - මාත් එක්ක යන්නේ කිව්වටත් කමක් නෑ! බැන්නොත් බැන්නාවේ! රස්සා ගැන කොළඹදී කතා කරමු”

තිස්සට හිනා ගියා.

“පයින් යනවා කියලත් කියන්නද?”

“උඹ කොහොම යනවද මං දන්නෙ නෑ, මම නම් බස් එකේ යන්නේ මෙතන ඉඳන්!”