යෙහෙළියෝ

“කවුද අද ඔය ආවේ?”

“ඇයි අප්පච්චිට මතක නැද්ද? සමන්තී මාත් එක්ක එක පංතියේ හිටියේ හෝඩියේ ඉඳන්!”

“ආ… අර ජයමහලගෙ දරුව නේද? දැන් කොහෙද ඉන්නේ - දැකපු කාලයක්වත් මතක නෑ! … දත් නැතුව අතින් කටවහගෙන හිටපු පොඩි එකී - කොහෙද හඳුනන්නේ කලිසං ඇඳපු ගෑනියෙක් හැටියට ආවම!”

“එයා අටෙන් පස්සේ කොළඹ ඉස්කෝලෙකට ගියානේ, එයාලගෙ නැන්දගෙ ගෙදර නැවතිලා. මගෙ වයසමයි - ඉතින් අප්පච්චිට මගෙ වයසත් මතක නෑ නේ!”

ප්රියා හිනාවුනා.

“හ්ම්…”

වෙත්තසිංහ මහත්තයා ආයෙත් පත්තරේ අතට ගත්තා. දැන් පත්තරේ නිතරම තියෙන්නේ කොරෝනා වසංගතේ ගැන. ලෝකෙයි ලංකාවෙයි දැනට කීදෙනෙක් ඒකට ගොදුරුවෙලා ඉන්නවද, ආන්ඩුවෙන් මොන නීති දැම්මත් ඒවා සැලකිල්ලට නොගෙන නෑදෑ හිත මිතුරන්ට ලෙඩ බෝකරන නැහැදිච්චි මිනිස්සු ගැනත්, වෙද පොලිස් වෘත්ති නිරතවෙන්නන්ගෙ කැපවීම ගැනත්, මෙයින් සිද්ධවෙන ආර්ථික පරිහානියේ ආදිනවත්, දවසේ පඩියෙන් ජීවත්වෙන අයට ඇති කරදරත්… මේවා කියවලා වෙත්තසිංහ මහත්තයට දැන් හොඳටම ඇතිවෙලා - ඒ අස්සේ ප්රියාගෙ කසාදෙත් කල්දමන්න වෙන බව දැන් සහතිකයි. කෙල්ල ගැන වෙත්තසිංහ මහත්තයට හරි දුකක් ඇතිවුනා. නමුත් මේ කාලේ හැටියට ප්රියාට යාළුවෙක් ලඟින් ඉඳීම මේ කරදර මැද්දේ සිද්ධවුන එකම ‘හොඳ’ දේ කියලත් හිතුනා.

ඒ දවස්වල සමන්තී තමා ප්රියාගෙ හොඳම යාළුවා. වෙත්තසිංහ පවුලයි ජයමහ පවුලයි අතර කිට්ටු සම්බන්ධයක් නොතිබුනත් ඒ දවස්වල යාළුවෝ දෙන්නා නිතරම එක එක්කෙනාගේ ගෙවල් වලට ගියා. පස්සේ කාලේ ඒ ළමයා වැඩිය දැක්ක බවක් වෙත්තසිංහ මහත්තයට නිච්චි නෑ. පොඩ්ඩෝ ලොකුවෙන එක හැටියක්. දැන් ප්රියත් රස්සාවක් කරන නිසා පරණ යාළුකම් අතීතේ සිද්ධවුන දේ පමණක් හැටියටයි මහත්තයා දැක්කේ.

ප්රියා ගේ ඇතුලට ගියේ සමන්තී ගෙනා මල්ලේ තියෙන්නේ මොනවද බලන්න. තමාගේ දෙවෙනි මනමාලී හැටියට එයාට එන්න හැකිවීම ගැන ප්රියාට හරිම සතුටක් ඇතිවුනා. මඟුල කල් ගියත් සමන්තී දැකගන්න ලැබීම හිතට හොඳයි - නමුත් මඟුල කල් නොයයි කියන බලාපොරොත්තුව අතහැර දමන්න ප්රියා තවම ලෑස්ති නෑ.

“තැන්ක්යූ අනේ ගෙනා දේ වලට… උඹට තවම මතකයි නේ මං අදින්න කැමති දේ!”

ප්රියා මෝබයිල් එක කනේ තියාගෙන ගේ පිටිපස්සට ගියේ මීට විනාඩි දහයකට ඉස්සර හමුවුන සමන්තිත් එක්ක තවත් දිගට දිගට කතා කරන්නයි. කියන්න වටිනා දෙයක් නැතිවුනත් අවුරුදු ගනණකට පස්සේ දැක්ක යාළුවත් එක්ක කතා කරේ ආසාවෙන්.

…………………………..

“කෝ කෙල්ල?”

“ඔන්න සමන්තිගෙ ගෙදර යනවා කිව්වා”

වෙත්තසිංහ මහත්තයා පවුල තමරත් එක්ක හවස තේ බොන වෙලාවෙයි මේ සාකච්චාව පටන්ගත්තේ. මඟුල කල් යන බව ප්රියත් එක්ක සාකච්චා කරන්න ඉස්සරවෙලා දෙන්න අතරේ කතාවෙලා හිටියොත් හොඳයි කියලා ජෝඩුවට හීතුනා.

“මං කතා කෙරුවා පාලිතගෙ තාත්තට… ඒ අයත් කියන්නේ මඟුල කල් දැම්මොත් හොඳයි කියලා… මමත් කිව්වේ එහෙම වුනොත් හොඳයි කියලා…”

“මාත් හිතුවේ නම් එහෙමයි - පාලිත දරුවා කියන්නේ මොකද කියලා කිව්වද?”

“… පාලිතට අපිට වැඩිය තේරෙනවා වැඩේ - දොස්තරලට පේනවා මේ වයිරසේ දුවන හැටි”

“… අනේ ප්රියාට කියන එක තමයි වැඩේ … කෙල්ලගෙ හිත හොඳටම පෑරෙයි…”

“මොකක් කරන්නද ඉතින් තමරා - අපිට ඔව්වා කොන්ට්රෝල් කොරන්ට බෑ නේ!”

දෙන්නා ආයෙත් ටිකක් වෙලා කතා නැතුව හිටියා. ප්රියා ටිකක් මුරණ්ඩු බව දෙන්නම දන්නවා. එයාගෙ අයියා ඒ වගේ නෑ - අර පවුලේ දෙවෙනියගෙ මුරණ්ඩු කම වෙන්න ඇති.

“හැබැයි හොඳයි යාළුවෙක් ලඟ ඉන්න එක… මට මතකයි ඔය සමන්තී කෙල්ල පොඩි කාලේ. හැබැයි හඳුනගන්ටම බැරිවුනා!”

තමරට හිනා ගියා.

“ඔයාට ඉතින් කිසි දෙයක් මතකේ හිටින්නෙ නෑ නේ! සමන්තී තියා ප්රියාගෙ වයස වත් මතක නෑ!

“අ… විසි… දෙකක්?”

“විසි හතරයි! දැන් රස්සාවට ගිහිනුත් අවුරුදු තුනයි…”

තමංගෙ මතක ගැන කතා කරන්න වෙත්තසිංහ මහත්තයට ඕන කමක් නෑ.

“ඔය සමන්තී දැන් කොහෙද ඉන්නේ?”

“එංගලන්තේ. දුවගෙ මඟුලටත් එක්ක ආවේ - දෙවෙනි මනමාලිනෙ!”

“හැබෑට?”

මහත්තයට මේ පුවත අළුත්. නමුත් මීට ඉස්සර පවුල හරි දුව හරි මේක කියලා ඇති නිසා ආයෙ ඒ ගැන ප්රශ්න අහන්න ගියෙ නෑ.

“මොකද ඉතින් එංගලන්තේ කරන්නේ?”

“බැංකුවක වැඩ කියන්නේ…”

“මේ දවස්වල ඒ පැත්තෙත් මේ කොරෝනා වයිරස් නිසා හරි කරදර කියලා පත්තරේ තියෙන්නේ… ඊටත් වැඩිය යුරෝපේ අනික් රටවල්වල - ඉතාලිය වගේ”

“ඔවු… ඔය කියන්නේ ඉතාලියේ ඒකෙන් මැරුන අයගෙ පවුල් වලට බොඩීස් ලඟට යන්නවත් දෙන්නෙ නෑ කියලා. පව් හැබැයි”

“මැරුන අය කෙසේ වෙතත් මැරිලා නැති අය පරෙස්සං කරන එකයි ලොකුම වැඩේ… හැබෑට කවුරුත් තවම මැරිලා නැතත් ලංකාවටත් ඒ ප්රශ්නේ තමයි විසාලම …”

“ඔවු ඉතින් ඇඳිරි නීති දාලා, පිටරටින් එන අය ‘නිවාස අඩස්සියේ’ තියලා එහෙම කරන්නේ ඒකනේ”

වෙත්තසිංහ මහත්තයා මිදුල දිහා බලාගෙන කතා නැතුව ටික වෙලාවක් හිටියා. වැඩි වෙලා යන්න ඉස්සර තව මොනවාහරි කියන බව දන්න තමරා පුටුවෙන් නැගිට්ටෙ නෑ. ගුරුවරයෙක් හැටියට රටේ නොයෙකුත් පලාත්වල වැඩ කරපු නිසා නගරෙත් ගමෙත් මිනිස්සු ගැන සුගත් වෙත්තසිංහ හොඳින් දන්නවා.

“මට වැඩියම මතක්වෙන්නේ දවස් පඩියට, එහෙමත් නැත්නම් දවසෙන් දවස මොකවත් විකුණලා ජීවත් වෙන අයට අපිට වඩා කොයි තරම් කරදර ඇතිද කියලා. ගෙදර අයට කන්ට දෙන්ට බැරිකොට මොන මොනවා කරන්ට පෙලඹෙයිද කියලා කියන්ට බෑ… හැබෑට අපිත් එහෙම හිටියානම් මමත් කොහෙන් හරි කෑම හොරකම් කරයි… හිඟාකනවට වැඩිය හොරකමේ යන එක හොඳයි කියලා මට හිතෙන්නේ…”

“ඒක හරි වැඩක්නේ! කැමැත්තෙන් දෙන එකක් ගන්නවට වැඩියි හොඳයි හොරකමේ යන එක!”

“හ්ම්… අපි අදම කෙල්ලට කතා කරමුද මඟුල කල් යන එක ගැන?”

“ම්… මම ප්රියා එක්ක තනියම කතා කරන එක හොඳයි මට හිතෙන්නේ අපි දෙන්නම නැතුව…”

වෙත්තසිංහ මහත්තයා සැනසුම් හුස්මක් ඇරියා.

“තැන්ක්යු! - මම ඔය වැඩේ ඔයාට පන්ගනත්තු කරන්නේ කොහොමද කියලා හිත හිතා හිටියේ!”

දෙන්නටම හිනා ගියා, සාකච්චාව සතුටුදායක විදිහට ගියාට.

“ඔය සමන්තී එහෙමත් අප්සෙට් යයි නේද? මේ මඟුලටමද ආවේ? කවද්ද ලංකාවට ගොඩවැදුනේ?”

“ගිය සතියේ… කොළඹ දවස් දෙක තුනක් ඉඳලා මෙහෙ ආවේ”

වෙත්තසිංහ මහත්තයා ටිකක් කල්පනා කරා.

“එහෙනං ඉතින් තවම කොරන්ටීන් කාලෙනෙ - මොකද් මේ එහෙ මෙහෙ දුවන්නේ?”

“හැබෑට මම ඇහුවෙ නෑ කොළඹදී රෙජිස්ටර් වුනාද කියලා”

දෙන්නා ටිකක් සද්ද නැතුව හිටියා. ඉස්සරවෙලාම කතා කරේ වෙත්තසිංහ මහත්තයා.

“මං ජයමහට ෆෝන් කරලා බලනවා… මේක නිකම්ම අමතක කරලා දාන්ට බෑ!”

ටෙලිෆෝන් එක තියෙන එලියේ කාමරේට ගිහින් විනාඩි පහකට පස්සේ මහත්තයා ආපහු ආවේ බැරෑරුම් මුහුනක් පෙන්වාගෙන.

“ඒකී රෙජිස්ටර් වෙලාම නෑ!”

“හරි වැඩේ! ඉතින් පොලිසියට කතා කරන්න කියලා ඔයා කිව්වද?’

“ඌට ගානක්වත් නෑ! කාලෙකට පස්සේ ආපු දුවට ටිකක් ලිහිලක් පෙන්නන එක මට හිතාගන්ට පුළුවන් නමුත් මෙහෙම භයානක කාලෙක! ඒ වගේම අපෙ එකිත් එක්ක නිතරම… මට පී එච් අයි පොරට කෝල් එකක් දෙන්ට හිතෙනවා!”

“… අනේ… දුව මොනවා කියයිද?... මඟුලත් නෑ, යාළුවත් නෑ!”

“අනික් අතට දහ දෙනෙකුට ලෙඩ බෝ කෙරුවොත්? අපි ගැනම හිතලා බෑ තමරා…”

දෙන්නම ටිකක් කල්පණා කරා. මේ සැරේ ඉස්සරවෙලා කතා කරේ වෙත්තසිංහ නෝනා.

“ඇයි පාලිතට කතා කරන්නෙ නැත්තේ - එයාටත් මේකේ ලොකු අයිතියක් තියෙනවානේ”

“ගුඩ් අයිඩියා!”

ඒ සැරේ ටෙලිෆෝන් කතාවට විනාඩි විස්සක් විතර ගියා. ඒ අතරේ නෝනා තව තේ කෝප්ප දෙකකුත් හදාගෙන ආවා.

“පාලිත කිව්වා වහාම රිපෝට් කරන්ට කියලා. මම ඒක කරා. පාලිත දැන්මම දුවට කතා කරලා කියනවා කිව්වා. අනික මම යෝජනා කලා කෙල්ලෝ දෙන්නටම මෙහෙ කොරන්ටීන් වෙලා ඉන්ට පුළුවන් කියලා - කමක් නෑ නේද? – පාලිත කිව්වේ ඒක දුව කැමති විදිහකට කියලා”

“අපි දෙන්නටම ජයමහ ජෝඩුවෙන් හොඳටම බැනුම් අහන්න වෙයි නේද?”

“ඒකට මොකද තමරා - ඒ දෙන්නත් සනීපෙන් ඉන්නවට මං කැමතියි. අනික එහෙ තව කොල්ලෙකුයි වැඩට එක්කෙනෙකුයිත් ඉන්නවා නේද?”

“…අනේ මංදා… මං දුවට කතා කරනවා තව විනාඩි කීපෙකින්… ඔයා ජයමහලට කතා කරලා තත්වේ පැහැදිළි කරලා දෙන්න බලනවද?…”

“ඔවු ඉතින්… බැඳගත්ත බෙරේ…”

………………………….

“ඇයි අප්පච්චී පොලිසියට කිව්වේ? එහෙම කරන්න අප්ප්ච්චිට කිසිම අයිතියක් නෑ!”

ප්රියාට හොඳටම තරහ ගිහින් - අඩි බිම හප්පන තරමට. මූන හොඳටම රතුයි, ඇස් දෙකේ කඳුළු පිරිලා, කටහඬ වෙව්ලනවා.

“දුව!”

තමරා දුවට සැරෙන් කතා කවදාවත් නැති විදිහට. වෙත්තසිංහ මහත්තයා කනගාටුවෙන් දුව දිහා බලාගෙන හිටියා.

“මට අයිතියක් තියෙනවා ප්රියා - මගෙ පවුලේ අයගෙයි යාළුවන්ගෙයි ජීවිත බේරාගන්න එක මගෙ අයිතියක් - මගෙ යුතුකමක්!”

“සමන්තිට ඇති ලෙඩක් නෑ! ඒ අන්කල්ලා හරි තරහෙන් ඉන්නේ අප්පච්චී යටිකූට්ටු විදිහට පොලිසියට කියපු එක ගැන!”

“ඒ වගකීම මං බාර ගන්නවා… මම ජයමහට කතා කරාට එයා ගණනක් ගත්තෙ නෑ! මට තිබුන එකම ක්රමය තමා මං පිළිපැද්දේ - ඒකට ඒ අය බනින එක මට ප්රශ්නයක් නෙවෙයි!”

“ඒ අන්කල් එහෙම කොච්චර සන්තෝසෙන්ද හිටියේ සමන්තී ගෙදර එනවා කියලා - දැන් එහෙ මළ ගෙයක් වගේ!”

“සති දෙකක් දුව ගෙදර ඉන්න එක ඒ අයට කරදරයක්? ඕන නම් දෙන්නටම මෙහෙ ඉන්ට පුළුවන් - අම්මත් කැමතියි ඒකට”

“මට බෑ … මටත් එහාට යන්න හිතෙනවා සති දෙකට!”

දෙමව්පියෝ මුහුනෙන් මුහුන බැලුවා. තමරා කතාකළේ බොහොම හෙමින්.

“ඒක හොඳ අදහස, ඒ අය කැමතිනම්”

වෙත්තසිංහ මහත්තයත් කතා කරේ හෙමින්.

“බෑග් එකක් ලෑස්ති කරගත්තොත් මම ගිහින් දාන්නම්”

ප්රියා දෙම්ව්පියෝ දිහා බැලුවේ වෙන ඇසකින් - තිබුන තරහ නිවීගෙන එන බව සේරටම වැටහුනා.

“මම ජයමහට කතා කරන්ටත් ඕන - මම මෙහෙම කරේ ඇයි කියලා කියන්ට. එලවාගත්තොත් ගෙදර එන එකනේ!”

තමරා නැගිට්ටා.

“දුව යමු බෑග් එකක් ලෑස්ති කරන්න… ඉස්සරවෙලා සමන්තිට කෝල් එකක් දීලා බැලුවොත් හොඳයි හැබයි ඔයා එහෙ ඉන්නවට සේරම කැමතිවෙයිද කියලා”

“ඒ අන්කල්මයි කිව්වේ මට එන්න කියලා!”

“හොඳයි…”

වෙත්තසිංහ මහත්තයා ආයෙත් කතාකළා.

“තමරා ලයිස්තුවක් හදනවද ඊලඟ සති දෙකට ඕන බඩු? අපි දෙන්නටත් සති දෙකක් ගෙදර ඉන්ටවෙයිනේ!”