වැවේ කවියා
අපි නාන්න එනකොටත් වැව් බැම්මේ එහා කොනේ සියඹලා ගහ යට වාඩිවෙලා හිටපු මනුස්සයා පැය දෙකකට පස්සේ තවමත් එතන. මිනිහා ගහට හේත්තුවෙලා වැව දිහා බලාගෙන ඉන්නේ හරියට භාවනා කරනවා වගේ. මට හිතුනා මිනිහා මැරිලද කියලත්, ඔය තරම් වෙලාවක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න නිසා. නාලා ඉවර වෙලා ගිහින් බලන්න ඕන කියලා මම හිතා ගත්තා.
අපි නාන්න වැවට එනකොට හවස හතර වෙලත් නෑ. වාරිමාර්ග පිලිබඳ ඉගෙන ගන්න අපි ගිය සතියේ එප්පාවලට ආවේ සති හතරක් මේ පලාතේ වැඩ කරන්න බලාගෙන. ලංකාවේ එක එක පලාත්වලින් ආ නිසා බොහොම දෙනෙක් මේ වගේ පලාත් ගැන වැඩිය දන්නෙ නෑ. ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු තුනකට වැඩිය නැති නිසා උපන් ගම ඇරුනුකොට ලංකාවේ අනික් පැතිවල ජීවිත රටා අපිට සේරටම වගේ අලුත්. වැවක නාන එකත් සමහරු මේ ඉස්සරවෙලාම කරන්නේ. උදේ හතට නැවතිලා ඉන්න ගෙදරින් උපදේශකයොත් එක්ක පිටත්වෙන අපි නැවත එන්නේ දෙකට විතර දවල් කෑමට. කෑමෙන් පස්සේ ක්ෂේත්‍ර පොත්, සිතියම් වල වැඩ ඉවර කෙරුවැයින් පස්සේ අපිට නිදහස තිබුනා ආයෙත් රෑ කෑමට එක් වෙනකම්. සමහරු ඒ වෙලාවේ නිදාගත්තත් අපි කීප දෙනෙක් වැවේ නාන්න ආවා.
කෝන් වැව / යෝද ඇල ප්‍රදේශයත් ඒවායෙන් ජලය ලබන කුඹුරු ගැනත් සොයා බලා වාර්තාවක් ලිවීම අපිට බාරවී තිබුන කාර්‍යයි. දැනට අවුරුදු කීපෙකට ඉස්සර වතුර බෙදීම ගැන අසතුටුවූ ගොවියෝ මේ වැව විනාශ කරන්නත් උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා දැන් ජලය ගැන විතරක් නෙවෙයි ගොවියෝ ගැනත් මේවගේ වාර්තා වලට ඇතුලත් වෙන්න ඕනෑ. නමුත් වාරිමාර්ග විද්‍යාව වගේ නෙවෙයි ගොවියන්ගේ ‘මානසික විද්‍යාව’. ඒක මැනලා බලන්න උපකරන නෑ. අනික් අය කොයිතරම විහිළු කලත් මට හිතුනා වැව් බැම්මේ මනුස්සයට කතාකලොත් ගැමියන්ගෙ අදහස් ගැන යමක් ඉගෙනගන්න පුලුවන්වෙයි කියලා.
“මචං ගිහින් අර නාකි පොරට කතාවක් දාලා එමුද?”
“වෙලා ගියා බං…. දැන් අරක්කුට දහයයි” ඒ අබේ වෙලාව මනින හැටි - මිනිහා හයට ඉස්සර බොන්නෙ නෑ. ඒ කියන්නේ දැන් වෙලාව හයට දහයයි.
“ඒ මනුස්සයා දැන් පැය දෙකකට කිට්ටුවෙන්න එතන. මැරිලද දන්නෙත් නෑ”
“උඹට ඕනෑ නම් පලයන්. හැබැයි කරුවල වෙන්න ඉස්සර වරෙන්”
අංතිමට මාත් එක්ක යන්න ජයතිස්ස කැමැති උනා.
අපි දෙන්නා සියඹලා ගහට කිට්ටු වෙනකොට තමා දැක්කේ මිනිහා මොනවද කර කර හිටියේ කියලා. එයා බාවනා කරනවා නෙවෙයි - අතේ තිබුන ක්ෂේත්‍ර පොතක් වගේ පොඩි පොතක මොනවදෝ ලියනවා. අපි එතන නැවතුන වහාම මිනිහා ලිවීම නවත්තලා පැන්සල කන පිටිපස්සේ ගහගත්තා, බාස් උන්නැහේ කෙනෙක් වගේ. ඊට පස්සේ තමා මිනිහා අපි දිහා බලලා යන්තම් හිනා උනේ.
“ලොකු උන්නැහේ වැඩක් වගේ…” මම දැනගෙන හිටියා කෙනෙක්ගෙන් එයා කරන දේ ගැන ඇහුවම කතාව පටන්ගන්න ලේසි බව.
“හ්ම්…නිකම් ඉන්නවට කවියක් ලියන්න හිතුනා…”
“වැව ලඟ?”
“වැව ලඟ නිස්කලංකයි…අපෙ වයසට ආපුවාම නිස්කලංකකම බොහෝම වටිනවා….”
කටහඬේ කිසි අඩුවක් නැති උනාට වයසනම් පේනවා. සමහරවිට හැත්තෑවටත් කිට්ටු ඇති. සරම කෙටි කරලා ඇඳගෙන ටීශර්ට් එකක් උඩින් දාගෙන හිටි එයා ලඟ පොඩි තුවායකුත් තිබුනා. නාන්න ඇවිල්ලා වෙන්න ඇති කවි ලියන්නේ.
“ලොකු උන්නැහේ නෑවෙ නැද්ද?”
“නාන්න තමා ආවේ…ටිකක් වතුර සීතලයි…හොඳ වෙලාවට නොනා ඉන්නත් ලෑස්ති වෙලා ආවේ…මේ දෙන්නා කොහෙද?”
“මම බදුල්ලේ…ජයතිස්ස රත්නපුරේ…අපි වාරිමාර්ග වැඩ කරන්න මෙහෙ ආවේ ගිය සතියේ…”
“හ්ම්ම්…වාරිමාර්ගේ…මොකද මේ පැත්තේ?”
“අපි මෙහෙ වැව්, යෝද ඇල, ගොවියෝ එහෙම ගැන වාර්තාවක් ලියන්න තියෙනවා…අපෙ ඉගෙනීමේ කොටසක් හැටියට”.
ජයතිස්ස එතකොට කතා කරා.
“ලොකු උන්නැහෙත් මේ ගමේ ගොවිකම් කරනවද?”
“නෑ…නෑ….මං මෙහෙ නෙවෙයි….මේ අය කොහෙද නැවතිලා ඉන්නේ?
“මේ කිට්ටුව…කෙත්තාරාම පන්සලට ටිකක් එහැයින්…”
මිනිහා ආයෙත් ටිකක් වෙලා වැව දිහා බලාගෙන හිටියා.
“හ්ම්ම්…වාරිමාර්ග…ඔය වැව්වල ඉතිහාසේ ගැනත් හොයලා බලනවද?”
“වැඩිය නෑ…අපෙ වාර්තාව දැන් පවතින තත්වයයි අනාගතෙයි ගැන…අපි බලන්නේ කොහොමද මේවා තව දියුනු කරන්නේ කියලා…”
“ඒක බොහොම හොඳයි…හැබැයි මට හිතෙන්නේ ඉස්සර අපෙ මුතුන් මිත්තෝ කරපුදේත් හොයලා බලන්න වටිනවා කියලා….”
“වෙලා තිබුනොත්….” ජයතිස්සට යන්න හදිස්සියි. “අපි ගිහින් එන්නං ලොකු උන්නැහේ”
…………….
“කොහොමද නාකි මනුස්සයා?…උඹලට වතුර හරවන්න කියා දුන්නද?”
අපි නවාතැනට එනකොට අනික් අය ගෙදර මිදුලේ පුටු තියාගෙන අරක්කු බොනවා. අපෙ උපදේශක මිස්ට තලවින්නත් එතන, එයා අපිත් එක්ක රෑ නැවතුනේ නැතත්. අබේගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ජයතිස්ස.
“පිස්සුද බං…මිනිහා මේ ගමෙත් නෙවෙයි…ගොවිකම් කරනවා වෙනුවට කවි ලියනවා!” ජයතිස්ස කිව්වේ හිනා වෙවී. “ආයෙ කිව්වා වැව්වල ඉතිහාසේ බලන එක වටිනවා කියලා”
“තිලකරත්න අපි ඉතිහාසේ වෙනුවට මේ සැරේ තාක්ශනේ බලමු නේද?” මිස්ට තලවින්න කිව්වේ පොඩි හිනහවකුත් එක්ක.
මම “ඔවු සර්” කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා. නමුත් මගෙ යටි හිතට දැනුනේ ඉතිහාසේ හොයලා බලන එක ඇත්තටම ඉස්සර කාලේ තාක්ශනය බැලීමක් නේද කියලා. කාලෙන් කාලෙට තාක්ශන වෙනස්වෙන එක පුදුමයක් නෙවෙයි. ලී මිටක් ගහලා තිබුනත් තාක්ශනේ තාක්ශනේමයි. අනික, වැව් බැම්මේ ඉඳගෙන කවි ලියන මිනිහෙක් ආවට ගියාට මොකවත් කියන එකක් නෑ - ටිකක් හිතලා තමා ඔය ඉතිහාස කතාව කියන්න ඇත්තේ. මේවා මම වෙන කාටවත් කියන්න ගියේ නෑ නමුත් මමම ටිකක් හොයලා බලන්න තීරණේ කරා.
අපෙ ‘වැවේ කවියා’ ඊලඟ දවස් කීපේ වැව ලඟ හිටියෙ නෑ, මම ඒ වෙලාවටම නාන්න ගියත්. මට හිතුනේ මිනිහගෙන් අහගන්න පුලුවන්වෙයි කියලා මගෙ වැඩේට අදාල ඓතිහාසික තාක්ශන ගැන. නමුත් පුදුමෙකට වගේ අංතිමට මට ඒවගේ තොරතුරු ලැබුනේ මිස්ට තලවින්නගෙන්. මම වැවෙන් නාලා නවාතැනට එන්න පිටත් වෙනකොට අපෙ ජීප් එක එතෙන්ට ආවා, මිස්ට තලවින්න එලවාගෙන.
“කෝ කවි ලියන මනුස්සයා නැද්ද?”
“නෑ සර්, ඊයෙත් නෑ අදත් නෑ….ගමේ මිනිහෙක් නෙවෙයි…මෙහෙන් ගිහින්ද දන්නෙ නෑ”
“අපරාදේ…මාත් මිනිහා හම්බුවෙන්න බලාගෙන හිටියේ. මේ තිලකරත්න ඉතිහාසේ බලන්න ඕනෑනම් මේ ඩී වී ඩී එකේ තියෙනවා මේ වැව්වල ඉතිහාසේ - අපේ දෙපාර්තමේන්තුවේ කෙනෙක් මේක හදලා තියෙන්නේ. ලැප්ටොප් එකක් තියෙනවද?”
“ඔවු සර්….තැන්ක් යූ සර්…”
ජීප් එක ගියාට පස්සේ මම ආපහු නවාතැනට ආවේ ලැප්ටොප් එකේ දාලා මේක බලන්න නොඉවසිල්ලෙන්.
විනාඩි දහසයක් පමන ඒ කතාව මම කීප සැරයක් නැරඹුවේ හවස මත්පැන් පාවිච්චියත් අමතක කරලා. වෙලාවෙන් වෙලාවට එක එක සගයෝ ඇවිත් මගෙ උරිසට උඩින් ටික වේලාවක් ඒක බැලුවත් එක්කෙනෙක්වත් මුලු කතාවම බැලුවෙ නෑ. මගෙ ඔලුවට ප්‍රශ්න කීපයක් ආවා.
මේ ඩී වී ඩී තැටිය කොහෙන්ද ආවේ? ඒක දිගටම මෙහෙ තිබුනද නැත්තම් ‘වැවේ කවියගෙ’ කතාවෙන් පස්සේ විශේෂයෙන් ගෙන්නා ගත්තද? පැයකට අඩු කාලයකින් ලංකාවේ වාරිමාර්ග ඉතිහාසයේ සාරාංශයක් මෙහෙම ලබාගන්න පුලුවන්නම් ඇයි ඒක අපෙ ඉගෙනීමට අද්‍යාපන සම්පතක් හැටියට පාවිච්චි නොවෙන්නේ? මිස්ට තලවින්න මේක මට නොදී ඇයි මුලු කංඩායමට නොපෙන්නුවේ? මම ඒක මිස්ට තලවින්නගෙන් අහන එක හරිද? මේ වගේ ප්‍රශ්න ඔලුවේ පුරවාගෙන තමා මම ඊලඟ දවස් කීපේ වැඩ කරේ.
…………
මම වැවේ කවියා ඊලඟට දැක්කේ පංසලේදී. කෙත්තාරාම විහාරේ පිංකමක් තිබිලා අපි කීපදෙනෙක් එතෙන්ට ගියා හවස් වෙලා. බන අහන්න ආසාවක් නොතිබුනත් අපි බන මඩුවටත් එබිලා බැලුවා. සුදු සරමකින් කමිසෙකින් සැරසිලා අපේ කවි කාරයා හාමුදුරුවොත් එක්ක කතාව, බන පටන් ගන්න ඉස්සරවෙලා. මට සන්තෝසයක් දැනුනා මිනිහා ගම ඇරලා ගිහින් නැති එක ගැන. නමුත් කතාකරන්න අවස්තාවක් ලැබෙන පාටක් නෑ, බන ඉවරවෙනකම් නොඉඳ. මට කරන්න පුලුවන් එකම දේ ගැන හිතලා මම එතන හිටපු උපාසක කෙනෙකුට ලං උනා.
“අර හාමුදුරුවන්ට කතාකරන මනුස්සයා කවුද?”
“ඒ අර ඉස්කෝලේ ලොකු මහත්තයගෙ නෑදෑයෙක්….පොතක් ලියනවලු…”
“නම මොකද්ද දන්නවද?”
“අනේ මංදා…ගමේ අය කියන්නේ කවි කාරයා කියලා….ඔය කාලෙකට සැරයක් මෙහෙ ඉඳලා ගියාට වැඩිය කතාවක් එහෙම නෑ ගමේ අයත් එක්ක”
“…උපාසක මහත්තයා මෙහෙමද?”
“එහෙනං එහෙනං…අපෙ පරම්පරා හතරක් මෙහෙ…ගොඩ මඩ දෙකේම වැඩ”
“අපි වාරිමාර්ගේ…වෙලාවක ඇවිල්ලා හම්බුවෙන්න පුලුවන්ද?”
“ඒ මොකොටද?”
“මෙහෙ ගොවිතැන් කරන අයගෙ අදහස් අහලා බලන්න….?”
මට හිතුනා පංසලේ නෙවෙයිනම් මට මිනිහා මොකවත් හොඳ වචනෙන් කියයි කියලා. මූනෙන් පෙන්නුවේ ඒක උනත් කිව්වේ වෙන දෙයක්.
“කෝන්ගහගෙදර කිරිබංඩා කිව්වොත් ඕනැ කෙනෙක් දන්නවා. ඕනැනම් ආවට කමක් නෑ”
ආයෙ වචනයක්වත් නොකියා මිනිහා ගියා බනමඩුව ඇතුලට. මමත් ආපහු නවාතැනට ආවේ ගැමියන්ට කතා කරන එක ඒතරම් ලේසි නොවන බව හිතාගෙන.
කෝකටත් කියලා මම මිස්ට තලවින්නගෙන් අවසර ගත්තා වෙලාවක ගිහින් කිරිබංඩා මුන ගැහෙන්න.
“තනියම යන්න එපා…කියන කරන ඕනෑම දේකට සාක්කිකාරයෙක් ඉන්න එක ඇඟට හොඳයි…මං මේකනම් කියන්න ඕනැ නෑ තිලකරත්නට, හැබැයි මතක තියාගන්න කොයි වෙලාවකවත්, කිසිම දෙයක් ගැන, ඒ අයට වඩා යමක් දන්නවා කියලා පෙන්නන්න උත්සාහ කරන්න එපා…අපි යන්නේ ඒ අයගෙන් උදව් ගන්න මිසක් උගන්නන්න නෙවෙයි…”
“ඔව් සර්…” මම වෙන මොනවා කියන්නද.
……..
මම කිරිබංඩා හම්බුවෙන්න ගියේ අබේවීරත් එක්ක. අපෙ කංඩායමේ අනික් අයට වඩා ටිකක් වයසෙන් වැඩි අබේ කොළඹ පලාතේ ඉපදුනත් ගැමියන්ට කතාකරන්න දන්නවා. ඒ මං හිතන්නේ අවුරුදු දෙකක් රත්තොට පැත්තේ වැඩ කරපු නිසා. අපි කිරිබංඩගෙ ගෙදරට ගියේ විස්කෝතු ටින් එකකුත් අරගෙන. ඉස්තෝප්පුවේ හාංසි පුටුවේ වාඩිවෙලා හිටි කිරිබංඩා අපි කඩුල්ලෙන් පනිනවා දැකලා ඉස්සරහට ආවා.
“මං හිතුවෙ නෑ මහත්තුරු මෙහෙ එයි කියලා, ඔය කිව්වට”
“ඇයි මම එදා පංසලේදී ඔබතුමාට කිව්වේ මම එන්න කැමතියි කියලා”
“මහත්තයා….ඔය ආංඩුවේ ඈයෝ බොහෝම කියනවා අපි එක්ක කතා කරන්ට ඕනෑ කියලා….හැබැයි මගෙ ගෙදෙට්ටම ඇවිල්ලා නෙවෙයි ඒ කංතෝරුවට ගිහිල්ලත් ඒගොල්ල ලේසියට හම්බුවෙන්ට බෑ…”
අබේ වහාම එයාගෙ මොලේ පාවිච්චි කරා.
“ඒ කංතෝරුවල කට්ටිය සමහරවිට අපිටත් එහෙමයි ලොකුඋන්නැහේ. හැබැයි උන්ට වගේ නෙවෙයි අපිට දැන් තියෙන වැඩේ ඔබතුමාලා නැතුව කරන්න බෑ….”
කිරිබංඩා ටිකක් වෙලා අබේ දිහා බලාගෙන හිටියා. අංතිමට ගේ පැත්තට හැරිලා අපිට කතා කරේ.
“මේ මිදුලේ නැතුව ඇතුලට ආවනම් එහෙනම්”
කහට කෝප්පෙකුත් බීලා අපි පැයක් විතර කිරිබංඩගෙ ගෙදර ඉඳන් කයිවාරු ගැහුවා. 2013 කෝන් වැවේ කරදරේ පටන්ගත්ත හැටිත්, ආංඩුවේ නිලදාරි ගොවියන්ට කන් නොදී වතුර පාලනේ කරපු හැටිත්, අංතිමට ඒකට ගුටි කෙලි, පොලිසි එහෙම එකතු උන හැටිත් කිරිබංඩා හොඳින් දන්නවා. කෙලින්ම නොකිව්වට මෙයත් ඒ සටනේ නායකයෙක් කියලා හිතන එක අමාරු නෑ. ආංඩුවේ වැරැදි විදහාපෑම කිරිබංඩගෙ කතාවේ වැදගත් කොටසක් උනත් එයාගෙ ගැමි ඕනෑ එපාකම් ගැන අවබෝධය ගැඹුරුයි. කිරිබංඩා එප්පාවල දුටුවේ ඒක තමාගෙයි ගමේ අයගෙයි රාජධානිය හැටියට - ආංඩුවේ සේවකයෝ ඉන්නේ ගැමියන්ගෙ ඕනෑ එපා කම් බලන්න මිස ගමේ අයට නීති දාන්න නෙවෙයි. එක අතකින් මිනිහගෙ කතාවේ ඇත්තක් තියෙනවා - වතුර හරවන්නේ ගොවියන්ගේ ඕනෑකම් පිරිමහන්න; වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අනික් අතට කිරිබංඩගෙ කතාවේ එක අඩුවක් තිබුනා - ඉතිහාසය ගැන කිසිම උනන්දුවක් නොපෙන්වීම. වැවේ කවියා වගේ නෙවෙයි කිරිබංඩා - එයා දුටුවේ තමාගේ ශ්‍රමනයෙන් ගොවිතැන් කරන්නේ වර්තමාන සහ අනාගත උවමනා පිරිමහන්න, පුරාන කාලේ මොක උනත්. මට හිතුනා වැවේ කවියත් මුනගැහිලා ඉතිහාසේ වැදගත්කමත් තේරුම් නොගත්තොත් අපෙ වාර්තාව සම්පූර්න නෑ කියලා.
අපි ආපහු එන්න පිටත් වෙනකොට වටින් ගොඩින් කරුවල වැටීගෙන එනවා; වැවේ කවියා හොයන්න වෙලාවක් තිබුනෙ නෑ. මගෙ අවාසනාවකට වගේ මනුස්සයා ඊට පස්සේ එකම දවසකවත් වැවේ නාන්න එනවා මම දැක්කෙ නෑ.
…..
එප්පාවල වැඩ ඉවර කරන්න දවස් තුනකට ඉස්සර දවසක් රෑ අපි පොඩි පාටියක් දැම්මා, සම්ප්‍රදායට අනුව. ඒකට අනුරාදපුරේ කංතෝරුවේ ඉන්ජිනේරුවෝ එහෙමත් ආවා. පාටියේ සංවිධානේ මිස්ට තලවින්න උනත් වැඩියම වැඩ කෙරුවේ අබේවීරයි සිල්වයි ශාහුලුයි. උන් තුන්දෙනාට හොඳට පුරුදුයි මේ වගේ වැඩ කරලා. පාටියට ඕනෑ බඩු ගේන්න අබෙයි මිස්ට තලවින්නයි අනුරාදපුරේ ගියේ ඒ කංතෝරුවේ වැඩ එහෙමත් තියෙනවා කියලා. සිල්වලා පොඩි විනාඩි දහයක නාට්‍යකුත් හැදුවා අනුරාදපුරෙන් එන ලොක්කන්ට පෙන්නන්න. ඒ විහිළු නාට්‍යට ධාතුසේන රජ්ජුරුවෝ යෝද ඇල හදන්න ඉස්සර හැතැක්ම හැටක හෝස් පයිප්පයක් හොයන ජවනිකාව මුල් උනා.
පාටියට ගමේ වැදගත්තු කීපදෙනෙකුටත් ආරාධනා කරලා තිබුනා. පොහොර සංස්තාව, බැංකුව, ඉංදන ගබඩාව වගේ තැන්වල ලොක්කෝ ඇරුනුකොට දොස්තර මහතා ඉස්කෝලේ මුල්ගුරුතුමා වගේ අයටත් ආරාධනා ලැබුනා. ආරංචියේ හැටියට මේ අයගෙන් කීප දෙනෙක් මුදලින් ආධාර දීලා තිබුනා මේ පාටියට. නමුත් කිරිබංඩා වගේ ගොවියෝ ආරාධිත් ලැයිස්තුවට අයිති උනේ නෑ. මුල්ගුරුතුමත් එක්ක වැවේ කවියා එනවා දැක්කම මට හරි සන්තෝසයක් දැනුනා. නමුත් වෙනදා වගේ කෙටි සරමකුයි ටීශර්ට් එකකුයි ඇඳගෙන නෙවෙයි ආවේ - කලු කලිසමකුයි කොටු කොටු කමිසෙකුයි ඇදගෙන සැඬ්ල්ස් කකුලේ දාගෙන හරියට ආංඩුවේ සේවකයෙක් වගේ! මට ආසාව තිබුනේ එයාට මිස්ට තලවින්න දීපු වැව් වල ඉතිහාසේ ගැන ඩී වී ඩී එක පෙන්නන්න, මොක ඇඳගෙන හිටියත්. අපෙ පාටිය තිබුනේ නවාතැනේ මිදුලේ. ඉස්කෝලෙන් ගෙනා පුටු වට රවුමට තියලා, රවුම මැද ජම්බු ගහේ වෙසක් එකට වගේ බකට් එල්ලලා හරිම ලස්සනයි. ආරාධිත අමුත්තොයි දෙපාර්තමේන්තු අයයි එක පැත්තකත් අපි වගේ සොච්චෝ අනික් පැත්තෙත් හිටියේ. බීම වර්ග සංග්‍රහය සිල්වයි අබේවීරයි කරා - ශාහුල් කට ගැස්මට බැදපු කෑම වටේටම ඇල්ලුවා.
සිල්වගෙ නාටකේ පටන්ගත්තේ බීම වට දෙකකට පස්සේ. වාරිමාර්ග සම්බන්ද නිසා වෙන්න ඇති දිග අත්පොලසන් වටයක් ඒකට ලැබුනේ. නාටකේ ඉවර උනාම හුඟක් දෙනෙක් පුටුවලින් නැගිටලා වටේ අයත් එක්ක කතා කරන්න පටන්ගත්තා. වැවේ කවියට කතා කරන්න හොදම අවස්ථාව මේකයි හිතලා මම හෙමින් මිනිහා පැත්තට ගියා. නමුත් මිනිහා අනුරාදපුරෙන් ආ වාරිමාර්ග ලොක්කෙක් එක්ක හිනාවෙවී කතා කරනවා. සමහරවිට මීට ඉස්සරත් හඳුනනවා වෙන්න ඇති. මම ඒ දෙන්නට අඩි කීපයක් ඈතින් ඉන්නවා දැකලා කවියා මට කතා කරා.
“ඉතිහාසේ ගැන හොයාගත්තද?” මුහුනේ පොඩි හිනහවකුත් තිබුනා.
“ටිකක් හොයා ගත්තා… මම කැමතියි වෙලා තියෙනවානම් ඇවිත් තව ටිකක් කතා කරන්න…කැමතිනම්…”
ලොක්කා එතකොට කතා කරා.
“තිලකරත්න නේද? මොකද්ද මේ ඉතිහාසේ කතාව?”
“මට මෙයා වැවේ නාන්න ගිය වෙලාවේ හම්බුනා…එතකොට කිව්වා වැව් වල ඉතිහාසේ ගැනත් හොයා බලන එක වටිනවා කියලා…මට මිස්ට තලවින්න මාර ඩී වී ඩී එකක් දුන්නා ඒවා ගැන. ඒකේ තියෙනවා ඉතිහාසේ හරි ලස්සනට කතාවක් වගේ ලියලා…මම හිතුවේ මෙයාටත් ඒක පෙන්නන්න කියලා…”
දෙන්නා මූනෙන් මූන බැලුවා. ඊට පස්සේ මං දිහා බලලා මල්වෙඩි පිපිරුවා වගේ එක සැරේම මහා හයියෙන් හිනාවෙන්න පටංගත්තා. අවට කතා සද්දේ යට කරලා දෙන්නා හිනා වෙන්නේ මා නොදන්න විහිලුවකට. වටේට අයත් කතාව නවත්තලා හැරිලා බැලුවා අපි දිහා.
“මම….එ….ඒක….දැ…දැකලා තියෙනවා….කීප සැරයක්!” හිනාව ආයෙත් නැගලා ගියා.
ඉන්ජිනේරුවා කතා කලේ හිනා අතරින්.
“තිලකරත්න මෙයාට ඒක පෙන්නනවා වෙනුවට මෙයාගෙන් අහගන්න ඒක හදාපු හැටි”
“ඒ කියන්නේ….”
“මෙයා තමා ඒ ඩී වී ඩී එක හැදුවේ. දැන් රිටයර් වෙලා හිටියට අපි තවමත් මෙයාට කතා කරනවා ඒ වගේ වැඩක් කරන්න ඕනෑ උනහම”
“සර් මට සමාවෙන්න වැවේදී ලොකු උන්නැහේ කියලා කතා කරාට”
“මට අනික් අය දාලා තියෙන නම්වල හැටියට ලොකු උන්නැහේ කියන එකත් ගෞරවයක්….ඇයි මිස්ට තිලකරත්න ඉතිහාසේ ගැන බලන්න හිතුවේ?”
“සර් කිව්වට පස්සේ මම ඒක ගැන ටිකක් හිතුවා. ගොවියන්ට කතා කරන එකත් බැලුවා. කෝන්ගහගෙදර කිරිබංඩගෙ ගෙදර ගිහින් කතා කරා. සර් මුන ගැහුනෙ නැති උනාට මිස්ට තලවින්න දීපු ඩී වී ඩී එක කීප සැරයක් බැලුවා. මට හිතෙන්නේ වාරිමාර්ග තාක්ශනේ වගේම අනික් දේත් ඉගෙනගන්න වටිනවා කියලා…”
අපි වටේ කීප දෙනෙක්ම මං කියන දේ අහගෙන ඉන්නවා. මට ලජ්ජා හිතිලා බිම බලාගත්තා. මේක ඉන්ජිනේරුවට දැනුනා.
“තිලකරත්නගෙ කතාව ඇත්ත. අපි ඒ විදිහට තමා හිතන්න ඕනෑ….තාක්ශනයත් වැදගත්, ඒ වගේම ගොවියෝ, පරිසරය, ආංඩුව එහෙමත් අපේ රාජකාරියේ කොටස් කාරයෝ. අපි මේ සේරමගෙ ඕනෑ එපාකම් බලන්න ඕනෑ”
වැවේ ගොවියා මං දිහා බලලා හිනා වෙලා එයාගෙ වීදුරුව මට දික් කරා.
“අපි ඉතිහාසේ වෙනුවෙන් තව අඩියක් ගහමුද?”
………..
මම එප්පාවලින් කෙලින්ම ගියේ අනුරාදපුර කංතෝරුවේ පරිසරය රැකගැනීමේ අංශයේ වැඩ බාර ගන්නයි. ලොකු ඉන්ජිනේරුවා මැදිහත් වෙලයි මේ පත්වීම මට ලැබුනේ. මගෙ සතුට තවත් වැඩි කරන දෙයක් තමා මගෙ මුල්ම ව්‍යාපෘතිය වැවේ කවියා යටතේ වීම.